“ඇය පීඩිත මිනිසුන් වෙනුවෙන් බලාපොරොත්තුවේ හඬ දැල්වූවා”- නන්දා මාලනිය ගැන නලින්දගෙන් සංවේදි කතාවක්
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු සඳහා සහභාගි වූ අතර, එහිදී ඇය විසින් රටට සහ පොදු ජනතාවට සිදු කළ අපරිමිත සේවය පිළිබඳව අදහස් පළ කළේය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඇයගේ අභාවය මුළු රටම කම්පා කරන සිදුවීමක්. පරම්පරා ගණනාවක් අද ඇය වෙනුවෙන් කම්පා වෙනවා. ඒ ඇය අපේ රට තුළ, අපේ සමාජය තුළ තබපු මුද්‍රාව නිසා. ඇත්තටම ඇය ගායිකාවක්, සංගීත ශිල්පිනියක්, සංගීත අධ්‍යක්ෂවරියක් පමණක්ම නොවෙයි.
නන්දා මාලනී කියන්නේ අපේ රටේ පොදු ජනතාවගේ ගායිකාව. අර දකුණු අප්‍රිකානු ලේඛක චිනුවා අචෙබේ ලිව්වා ‘පොදු ජනයාගේ මිනිසෙක්’ කියලා. නන්දා මාලනී කියන්නේ පොදු ජනයාගේ ගායිකාව. ඇය යුක්තිය සහ සාධාරණත්වයේ හඬ. ඇය සත්‍යයේ හඬ. ඒක නිසා තමයි ජනතාව ඉතාම ආදරයෙන් ඇයව වැළඳ ගත්තේ.
මේ රටේ ජනතාවට දුෂ්කර මොහොතවලදී බලාපොරොත්තුවේ හඬ දල්වපු කෙනෙක් තමයි නන්දා මාලනී කියන්නේ. ‘පවන’ කැසට් පටයේ ඇය ගායනා කරනවා, ‘අප සම බිමක රඳවන සොහොයුරණෝ’ කියලා. ඇය බලාපොරොත්තු වෙච්ච සමාජයක් තිබුණා.
ඒ වෙනුවෙන් ඇය හැම ජනතාවකටම, විශේෂයෙන්ම අපේ පොදු ජනතාවට, තැලෙන පීඩිත මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දුන්නා. අපේක්ෂාවක් දුන්නා. ඒක තමයි ඇය මේ මහත් සමාජය වෙනුවෙන් කරන ලද දැවැන්තම කාර්යභාරය. ඉතින් ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
ඇය සත්‍යයේ, යුක්තියේ හඬ නිසාම ඇයගේ නාමය, ඇයගේ හඬ, ඇයගේ ගී පෞරුෂය කවදාවත් මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ. තව සියවස් ගණනාවක් යනතුරු මේ සමාජයේ ඇය සදාකාලිකයි. ඉතින් ඇයගේ සේවය වෙනුවෙන් අපේ ජාතියේම ආශිර්වාදය මේ වේලාවේ පුද කරන්න සූදානම්.”