මීලාද්-උන් නබි මහෝත්සවයට සමගාමීව පෝරුතොට ප්‍රජා සත්කාර රැසක් ඇරඹෙයි
42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධානය කෙරෙන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාව අද (22) මීගමුව පෝරුතොට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන් සංවිධානය කර තිබේ. වැඩසටහන් මාලාවේ සමාරම්භය පෝරුතොට ප්‍රධාන ජුම්මා දේවස්ථානයේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව සිදු කෙරිණි.
අනතුරුව, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ඇතුළු ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් අල්-ෆලාහ් මහා විද්‍යාල පරිශ්‍රයේ පැවති ලේ දන්දීමේ කඳවුර නිරීක්ෂණය කෙරිණි.
එහිදී ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා කළ ඉල්ලීමකට අනුව, බේරුවල පදිංචි ව්‍යාපාරික අබ්දුල් ලතීෆ් හාජියාර් මහතා විසින් අල්-ෆලාහ් මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නවීන ස්මාර්ට් පුවරුවක් පරිත්‍යාග කර තිබේ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන්, මව්ලවිවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.