අලි-මිනිස් ගැටුමට AI තාක්ෂණයෙන් විසඳුමක් - වනඅලින් ගම් වදින්න කලින් කැමරාවලින් හඳුනාගෙන ජනතාවට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරන නවීන පද්ධතියක් ගැන ගල්ගමුවේදී විශේෂ නිරීක්ෂණයක්
අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය උපයෝගී කරගනිමින් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳ මූලික සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර නිරීක්ෂණයක් ඊයේ (13) ගල්ගමුව ප්‍රදේශයේදී පවත්වා ඇත.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ Huawei සමාගමේ නියෝජිතයින් එක්ව තිබුණි
මෙහිදී චීන තානාපතිවරයා සහ Huawei සමාගමේ නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ චීනයේ අලි-මිනිස් ගැටුම් පවතින ප්‍රදේශවල මෙවැනි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.
යෝජිත තාක්ෂණික පද්ධතිය යටතේ වනඅලින්ගේ ශරීර ප්‍රමාණය සහ චලන රටා හඳුනාගත හැකි කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ කැමරා භාවිත කිරීමට නියමිතය.
ඒ හරහා වනඅලින් ගම්මාන වෙත ඇතුළු වීමට පෙර ඔවුන්ගේ ගමන් මඟ හඳුනාගෙන, අනතුරු ඇඟවීමේ සංඥා සහ පණිවුඩ මගින් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ හැකියාව ඇත.
මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ භූ විෂමතාව, වනඅලින්ගේ සංචරණ රටා, ගම්මානවලට ඇතුළුවන මාර්ග සහ කැමරා පද්ධති ස්ථාපනය කිරීමට සුදුසු ස්ථාන පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ.
චීනයේ සාර්ථක අත්දැකීම් සහ නවීන තාක්ෂණික විසඳුම් මෙරට පාරිසරික හා භූගෝලීය තත්ත්වයන්ට ගැළපෙන පරිදි යොදාගත හැකිද යන්න පිළිබඳ ප්‍රායෝගික හැකියාව අධ්‍යයනය කිරීම මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණයේ ප්‍රධාන අරමුණ වී ඇත.
අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න