පාසල් සිසුන්ටත් කොටස් වෙළෙඳපොළට පිවිසෙන්න අවස්ථාවක් - 18ට වැඩි 13 වසර සිසුන්ට රු. 10,000ක මුදලක්
පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ටත් කොටස් වෙළෙඳපොළ හරහා ආයෝජනයට පිවිසීමට අවස්ථාව සලසා දෙමින්, ඔවුන් තුළ මූල්‍ය දැනුම සහ ආයෝජන පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමේ නව වැඩපිළිවෙළක් 2027 අයවැය මඟින් හඳුන්වා දී තිබේ.
ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි සහ 13 වැනි ශ්‍රේණියේ සිටින සිසුන්ට මෙම වැඩසටහන සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බව කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා සඳහන් කළේය.
“ජනාධිපතිතුමා ඔහුගේ අයවැය ප්රකාශනයේ සඳහන් කළා ‘සැමට කොටසක්, සැමට එකකයක්’ සංකල්පය ගැන. අවුරුදු 18ට ඉහළ, 13වැනි ශ්‍රේණියේ සිටින සෑම සිසුවෙකුටම මෙයට අයදුම් කරන්න හැකියාව තියෙනවා. ඔවුන් ඒ සඳහා අයදුම් කර අපි පාඨමාලාවක් තියෙනවා. ඒක හදාරන්න ඕනේ. ඒය හැදෑරීමෙන් පසුව විභාගයක් තියෙනවා. ඒ විභාගයෙන් සමත් වුවාට පසු ඔවුන් හැම එක්කෙනාටම රුපියල් 100,000ක ආයෝජනයකට හැකියාවක් තියෙනවා. මේකෙන් අපි අරමුණු කරන්නේ එම දරුවන්ව කොටස් වෙළෙඳපොළ හරහා ඔවුන් ඇත්තටම කොටස් වෙළෙඳපොළෙන් ලාභය ලබා ගැනීමත්, පසුව ඔවුන් ව්‍යවසායකයන් වුණාට පස්සේ කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ප්රාග්ධනය උපයා ගැනීමේ හැකියාවකුත් ලැබෙන බව තහවුරු කරගන්න තමයි අපි මේ ක්‍රමය හඳුන්වා දෙන්නේ. වෙන් කරලා තියෙනවා රුපියල් මිලියන 500ක් මේ සම්බන්ධව. මේ හරහා ඇත්තටම අපි ගම් ඇතුළට ගිහිල්ලා ඒ දුප්පත් ඉස්කෝලවලටත් මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ඔවුන්ගේ ආයෝජන වැඩිදියුණු කරගන්න, අර පරණ විදිහට යන්නේ නැතුව නව විදිහට ආයෝජනය කරලා ඔවුන්ගේ ධනය වර්ධනය කිරීමේ හැකියාවක් ලබා දෙන්න තමයි මේ අයවැයෙන් මෙය හඳුන්වා දුන්නේ.”