නව බදු ක්‍රමයක් සම්බන්ධයෙන් ජනතාවට රතු එළියක්..රජයේ ඉහළ ආයතන 03කටත් අනතුරු ඇඟවීමක්..

IMF Sri Lanka Income Tax Department Value Added Tax​ (VAT) Income Tax Return
By Aruna Apr 14, 2024 04:23 AM GMT
Aruna

Aruna

Report

රජයට බදු ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතන තුනවන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඉකුත් වසර (2023) අවසානය වන විටදී රුපියල් බිලියන 1132කට ආසන්න බදු මුදලක් එකතු කිරීම පැහැර හැර ඇතැයි අනාවරණය වනවා.‍

බදු එකතු කිරීම සම්බන්ධයෙන් මෙම ආයතනවල පවතින අකාර්යක්ෂමතාව හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරියේදී නව බදු සම්බන්ධ යෝජනා ඉදිරිපත් කිරීමේ අවදානම් තත්ත්වයක් පවතින බවයි, රජයේ ආරංචි මාර්ග කියා සිටින්නේ.

වැඩිම බදු ආදායමක් එකතු කිරීම පැහැර හැර ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසිනි.

මෙසේ බදු එකතු කිරීම මගහැර ඇත්තේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් බවද අනාවරණය වී ඇත.

ඉකුත් වසරේ (2023) දෙසැම්බර් මස 31 වැනිදා වනවිටදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1066 ක්ද, ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 58.6 ක් ද, සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 6.9ක් ද ලෙස පැහැර හරින ලද සම්පූර්ණ බදු මුදල රුපියල් බිලියන 1131.5ක් ලෙස ද සදහන් වේ.

රජය විසින් වසරකදී අපේක්ෂා කරන සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන හතරක්. ඒ අනුව, මෙලෙස එකතු කිරීම පැහැර හැර තිබෙන බදු මුදල සමස්ත බදු ආදායමෙන් හතරෙන් එකක අගයක් වනවා.

රජයේ ආරංචි මාර්ග පවසන්නේ, මෙලෙස රජයට අහිමි වී තිබෙන බදු ආදායම එකතු කිරීම සඳහා එම ආයතන තුන සතුව කිසිදු සැලැස්මක් නොමැති බවයි.

ඉකුත් 2022 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කළයුතු හිඟ බදු ආදායම වූයේ රුපියල් බිලියන නවසිය ගණනක්.

දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ දැඩි අකාර්යක්ෂමතාව හේතුවෙන් ඉකුත් වසර අගවන විටදී එකතු කළ යුතු හිඟ බදු ප්‍රමාණය තවත් වැඩි වී තිබෙනවා.

මෙම අයතන තුනෙහි පවතින අකාර්යක්ෂමතාව නිසා රාජ්‍ය මූල්‍ය අරමුදල විසින් ඉදිරියේදී තවත් බදු අය කිරීමේ ක්‍රියාමාර්ගවලට එළැඹෙන ලෙස රජයට දැනුම් දීමේ අවදානම් තත්ත්වයක් පවතින බවට තොරතුරු අනාවරණය වනවා.

මේ නිසා ආර්ථික විශ්ලේෂකයන් කියා සිටින්නේ, ජනතාව මත තවදුරටත් බදු බර පැටවෙනු ඇති බවයි.

රජයේ බදු එකතු කිරීමේ ප්‍රධාන ආයතන තුනෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවේ පවසා ඇත්තේ එම ආයතන ඉතා කාර්යක්ෂම අයුරින් බදු මුදල් එකතු කරන බවයි.

එමෙන්ම, ඔවුන් තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා කර ඇත්තේ බදු ආදායම ඉහළ නංවාලීමට දේපොළ බද්ද ක්‍රියාත්මක කළයුතු බවයි.