මඩකලපුවේ පාළු ළිඳකට දමා කාන්තාවක් ඝාතනය කෙරූ සැකකරුවන්ට රැඳවුම් නියෝග
මඩකලපුව, කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීම සහ රන් ආභරණ කොල්ලකෑම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් තිදෙනා දින 4ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙයි.
මඩකලපුව, කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේදී කාන්තාවක ඝාතනය කිරීම සහ රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු දින හතරක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) අවසර ලබා දුන්නේය.
පසුගිය 20 වැනිදා සිදුවූ මෙම සිද්ධියේදී තවත් කාන්තාවක පැහැරගෙන ගොස් ඇයගේ රන් ආභරණ කොල්ලකා පාළු ළිඳකට දමා ගොස් තිබියදී ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පොලීසිය විසින් බේරාගනු ලැබීය.
එම ළිඳේම තිබී ඝාතනයට ලක්වූ අනෙක් කාන්තාවගේ මළසිරුර ද පොලීසිය විසින් සොයා ගන්නා ලදී. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එහිදී පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, ඝාතනයට සහ කොල්ලයට සෘජුව සම්බන්ධ සැකකරුවන් තිදෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කළාය.
කොල්ලකන ලද රන් ආභරණ මිලදී ගත් බවට චෝදනා එල්ල වී ඇති සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
මෙම නඩුව ලබන 27 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර කොක්කඩිචෝලෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.