ඩෙල්ටා නිසා ලංකාව අනතුරේ. රෝහල්වලට උදව් කරන්න - සුදර්ශනී ඇමතිනිය අයදි.

covid19 infections delta variety sudarshani fernando pulle hospital capacity
By Sewvandhi Aug 20, 2021 12:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා පැතිරීමත් සමග ශ්‍රී ලංකාව විශාල අවදානමක සිටින හෙයින් ගමේ රෝහල්වලට හැකි ශක්ති ප්‍රමාණයෙන් උදව් කරන්නැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන්නීය.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරට රෝහල් සඳහා උදවු උපකාර රැසක් කර ඇති බවත් එම ශ්‍රී ලාංකිකයන්ට තමා ස්තුතිය පුද කරන බවත් ඇය සඳහන් කළාය.

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාව දැඩි අවදානම්කාරී තැනකට පැමිණ ඇතැයි රාජ්‍ය ඇමතිවරිය වැඩිදුරටත් කීවාය.

එමෙන්ම ඊයේ දිනයේ (19),තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6790 දක්වා ඉහල යයි.

එමෙන්ම අද දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3793ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

මේ අතර,කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එන්නත්කරණයෙන් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය කුමාර ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ අද වන විට රටතුල වේගවත් එන්නත්කරන ක්‍රියාවලියක් සිදු වුවත් ඩෙල්ටා ව්‍යාප්තිය සමග ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වන බවයි.

එන්නත් කරණයෙන් ප්‍රතිශක්තිය ඇති වීමට සති හය ඉක්ම වූ කාලයක් ගතවන නිසා ඩෙල්ටා ව්‍යාප්තිය සමග එන්නත්කරණයෙන් ගත හැකි උපරිම වාසිය ගැනීමට නොහැකිව ඇති බවද ඔහු කියා සිටියි.

පවතින තත්ත්වය මත ඉදිරි සතිය තුළ ආසාදිතයන් වාර්තාවීම තීරණාත්මක වනු ඇති බවත් ඔහු පැවසීය. බලධාරීන් විසින් නිවැරදි තීන්දු නිවැරදි වෙලාවට නොගතහොත් තත්ත්වය මීට වඩා බරපතළ වනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

එමෙන්ම, කොළඹ නගරයෙන් හඳුනා ගැනෙන නව කොරෝනා ආසාදිතයින් ගෙන් 90%ක්ම ඩෙල්ටා ආසාදිතයින් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක ජීව විද්‍යා අංශයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.

2019 දෙසැම්බරයේදී චීනයේ වුහාන් නගරයෙන් සොයා ගත් මුල් කොරෝනා වෛරසයට වඩා සියයට සියයක සම්ප්‍රේෂණය හැකියාවක් ඇති නව ඩෙල්ටා ප්‍රභේදය මුහුණු ආවරණ පැළඳ නොමැති කෙනෙකුට ආසාදනය වීමට තත්පර පහක් ප්‍රමාණවත් බවත්, පැය කිහිපයක් ඇතුළත ආසාදිත පුද්ගලයාට එය තම මුළු පවුලට ලබා දිය හැකි බවත් වෛද්‍ය ‍ජිවන්දර පෙන්වා දෙනවා.

මේ නිසා සමාජ දුරස්ථභාවය, අත් සේදීම වැනි කොවිඩ් -19 මාර්ගෝපදේශ තදින් අනුගමනය කළ යුතු බවටයි ආචාර්ය ඔහු අවධාරණය කරන්නේ. මේ වනවිට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුන හැරුණු විට යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, ත්‍රිකුණාමලය, දඹුල්ල, මහනුවර, අම්පාර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් මේ දක්වා ඩෙල්ටා ආසාදිතයන් හමුවී තිබෙනවා.

කෙසේ වෙතත් අධි සම්ප්‍රේෂණ හැකියාවක් ඇති මෙම ප්‍රභේදය තවමත් බස්නාහිර පළාතෙන් පිටත වසංගත මට්ටමෙන් තවමත් ව්‍යාප්ත වී නොමැති බවයි ආචාර්ය ජීවන්දර අවධාරණය කරන්නේ.

ඔහු පවසන්නේ තවමත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් හමු වන්නේ එතරම් භයානක නොවන සහ අඩු සම්ප්‍රේෂණ හැකියාවක් ඇති ඇල්ෆා ආසාදිතයින් බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 100කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති මෙම මාරාන්තික වෛරසය පාලනය කිරීම සඳහා වහ වහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී ඉතාම ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා වීමේ අවදානමක් ඇති බවයි ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now