"..අපි දැන් වැටිලා ඉන්න අගාධය වරායේ ගැඹුරට වඩා ගැඹුරුයි..ඒක ජනතාවට හංගන්න ඕන නෑ.. " අගමැතිගේ විශේෂ ප්‍රකාශය..(VIDEO)

Colombo prime minister Mahinda Rajapaksha port city Ptesident
By Sewvandhi Jan 12, 2022 10:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසර අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් අද (12) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එම අවස්ථාවේ දී අගමැතිවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

"නිකරුණේ ගෙවිලා ගිය වසර දෙකක කාලය ගැන ළතවෙලා වැඩක් නෑ. ඵලක් නෑ දැන්. ඒක වැදගත් විපක්ෂයට විතරයි. ආණ්ඩුවට වැදගත් ඉදිරි වසර තුන පිළිබඳවයි. ඒ වසර තුන තීරණාත්මකයි. අතීතය නොව අනාගතයයි අපි භාරගන්න ඕනේ. ගෙවුණු අතීතය ආණ්ඩුවට නැවත ගන්න බැහැ. ඒක අදින්න පුළුවන් වැඩකළොත් විතරයි.

අපි මුහුණ දීලා තියෙන කටුක තත්ත්වය පිළිගන්න ඕනේ. කොරෝනා වසංගතය අපිව ඇදලා දාලා තියෙන ආගාධය පිළිබඳව වරායේ ගැඹුරට වඩා වැඩියි කියලයි මම විශ්වාස කරන්නේ. ඒක අපි ජනතාවට හංගන්න ඕනේ නෑ.

හංගන්නෙත් නැහැ. පැත්තකින් යහපාලන ආණ්ඩුව විදේශ සමග ගහපු ගිවිසුම්. පැත්තකින් ඒවා යළි නිදහස් කරගෙන දියුණු කරන එක. මේ මරමස්ථාන නිදහස් කර ගන්නත් ඒවා දියුණු කරන්නත් මුදල් හොයා ගන්නත් ඕනේ.

මේ සේරම මැද ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නත් ඕනේ. ජාතියේ අපේක්ෂාවන් ආරක්ෂා කරන්න ලොකු කැපකිරීමක් කරන්න වෙයි. රට ගැන තියෙන බලාපොරොත්තු අතහරින්න එපා. ගෙවුණු වසර දෙක අපේ විවේචකයින්ට කරගහගෙන යන්න භාරදෙමු. අනාගතය අපි භාරගමු."

පර්යන්තයේ වැඩ ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යතුමා ඵලකය නිරාවරණය කළහ. අදියර තුනක් යටතේ සිදුකෙරෙන පර්යන්තයේ ඉදිකිරීම් 2024 වසරේ දී අවසන් කිරීමට නියමිතය.

හෙක්ටයාර 75ක භූමි ප්‍රමාණයක විහිදී ඇති මෙහි දිග මීටර් 1,320කි. වැඩ නිම වීමෙන් පසු නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන දොඹකර (STC) 12ක් සහ රේල් පීලි මත දිවෙන ග්‍රැන්ටි දොඹකර (RMG) 40ක් සමග අංගසම්පූර්ණ පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ.

මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 510ක් වන අතර වරාය අධිකාරිය ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් වැය කරයි.

ඇක්සස් ඉංජිනේරු පී.එල්.සී සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගම් එක්ව ඉදිකිරීම් සිදුකරයි. මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, තානාපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now