විනිසුරු සේවා කාලය දීර්ඝ කරන 22 වැනි සංශෝධනයට කථානායක සහතිකය ලැබෙයි
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) සිය සහතිකය සටහන් කළේය.
පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (24) සහ අද (25) පැවැති අතර, එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.
නව සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවේ.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වැනි වගන්තිය සංශෝධනය කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමටද ප්‍රතිපාදන සලසා තිබේ.
ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවීම මගින් විභාග කිරීමට නියමිත නඩු කඩිනමින් අවසන් කිරීම සහ නඩුවල පාර්ශ්වකරුවන්ට කොළඹට පැමිණීමට සිදුවන අවස්ථා අවම කිරීම මෙහි අරමුණ වී තිබේ.
කථානායකවරයාගේ සහතිකය සටහන් කිරීමත් සමඟ අදාළ පනත් කෙටුම්පත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස බලාත්මක වේ.
විපක්ෂයේ සහ සිවිල් සංවිධාන විරෝධය මැද 22 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
අධිකරණ සංවිධාන පනත් සංශෝධනයත් බලාත්මකයි
මේ අතර, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහාද කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළේය.
එම පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (24) සහ අද (25) පැවැති අතර, එය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නැංවීමට ප්‍රතිපාදන සලසා තිබේ.
තවද, අධිකරණ සංවිධාන පනතේ 4 වැනි වගන්තිය සංශෝධනය කරමින් අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමටද පනත මගින් ප්‍රතිපාදන සලසා ඇත.
ඒ අනුව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 23 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.