රඹුක්කන ද්විත්ව ඝාතනය ගැන ප්‍රධාන සැකකරු කරුණු රැසක්

Sri Lanka
By Sithumi Jan 19, 2023 03:59 PM GMT
Sithumi

Sithumi

Report

රඹුක්කන හුරිමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස තරුණයන් දෙදෙනෙකු ඝාතනය කර වළදැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හුරිමළුවේ ෆර්හාන් නම් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

මෙම ඝාතනවලට අවශ්‍යව සිටි හලීම් නමැත්තා ද සමගින් ඔහු පුත්තලම ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. මොහොමඩ් ෆර්හාන් හෙවත් හුරිමළුවේ ෆර්හාන් නම් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පුත්තලම නගරයේ සිටින බවට කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශය වෙත තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව අදාළ ප්‍රදේශයට ගිය විමර්ශන නිලධාරීන් සැකකරුව එහිදී අත්අඩංගුවට ගත්තේ නිවසක සැඟව සිටි අතර අදාළ ඝාතනවලට සම්බන්ධ තවත් සැකකරුවකු වන හලීම් නමැත්තා ද ඔහු සමග සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.  

මොවුන් දෙදෙනාට නවාතැන් හා ආහාර පාන සැපයූ පුද්ගලයෙකුව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරුවන් භාවිත කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් ද පොලීසිය විසින් සොයාගත් අතර අද දහවල් සැකකරුවන්ව කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශය වෙත රැගෙනවිත් තිබුණි.  

පසුව ප්‍රධාන සැකකරු වන හුරිමළුවේ ෆර්හාන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ අදාළ තරුණයක් දෙදෙනා ඝාතනය කිරීමේ අරමුණින් පහර නොදුන් බවයි. එමෙන්ම මියගිය තරුණයින් දෙදෙනාට වධ හිංසා පැමිණ වූ බවත් මියගිය පසු ඔවුන් දෙදෙනාව වළදැමූ බවත් සැකකරු පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබෙනවා.  

අනතුරුව සැකකරුවන් දෙදෙනාව ඝාතනය සිදුවූ බව කියන හුරිමළුව ප්‍රදේශයේ අදාළ නිවසට රැගෙන ගියා. එහිදී සැකකරු විසින් ඝාතනය සිදුකළ ස්ථානය සහ තරුණයන් දෙදෙනා වළදමා තිබූ ස්ථානය පොලිස් නිලධාරීන්ට පෙන්වා තිබුණු අතර අනතුරුව ප්‍රධාන සැකකරවන හුරිමළුවේ ෆර්හාන් නමැත්තාගේ පියාගේ නිවසට ඔහුව රැගෙන ගිය අතර එහි ජල ටැංකියක් අසල සඟවා තිබූ ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන කඩු දෙකක් සහ යකඩ පොල්ලක් ද පොලීසිය සොයා ගත්තා.  

සැකකරුවන්ව හෙට කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා අප්සරා අබේගුණසේකර මහත්මිය වැඩිදුර විමර්ශන සිදුකරයි.