සර්වපාක්ෂික ආණ්ඩුව ගැන ශ්‍රිලනිපයේ ස්ථාවරය නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරයි
ජාතික සභාවට සහභාගීවීමෙන් වැලකී සිටි සියලු සහෝදර දේශපාලන පක්ෂ වෙත ආචාරය පුදකර සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ජාතික සභාව පිළිබඳ යෝජනාවේ අරමුණ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කරමින් රටේ දේශපාලනික ස්ථාවරත්වයක් ගොඩනැගී ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවට ව්‍යාජයෙන් හැඟවීම පමණක් බවත්, එම නාම මාත්‍රික ජාතික සභාව මගින් රට පුරා සිදුවූ ජනතා නැගීසිටීම් වලට යුක්තිය ඉෂ්ඨ නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එය ආණ්ඩුවේ සියලු තීරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල අනුමැතිය වක්‍රාකාරව ලබාගැනීම අරමුණු කරගත් නාමමාත්‍රික කමිටුවක් බව ද එහි සඳහන් වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් යෝජිත ජාතික සභාව නියෝජනය කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ ද ශ්‍රී ලංකා රාජ්‍යයේත්, ජාතියේත් යහපත හා සුරක්ෂිතතාව පිණිස ආණ්ඩුව විසින් ගනු ලබන ඕනෑම සාධනීය ප්‍රතිපත්තිමය තීරණයකදී පටු දේශපාලනික වාසි නොතකා සහය දීමට විපක්ෂයේ සිට කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම ස්ථාවරයට සමගාමීව යෝජිත ජාතික සභාවට සහභාගී නොවන සියලු සහෝදර දේශපාලන පක්ෂ වෙත ආචාරය පුදකරන බවද එම පක්ෂය කියයි. පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට පසුගිය දා ඇතුළත් කොට තිබූ ජාතික සභාව සම්බන්ධ යෝජනාව විවාදාපන්න බවත්, සර්ව පාක්ෂික ආණ්ඩු සංකල්පය තුළ යෝජිත ජාතික සභාව, පවතින අර්බුදකාරී තත්වය කළමනාකරණය සඳහා වන විධායක බලය සහිත සෙනෙට් සභාවකට පර්යාය දේශපාලන ව්‍යුහයක් බවත් ශ්‍රී.ල.නි.පය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එහෙත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති යෝජනාවේ ජාතික සභාවට පැවරෙන අධිකාරී බලයට හා පොදු වගකීම්වලට අනුව එය කතානායකවරයාගේ සභාපතීත්වයෙන් යුත් තවත් උපදේශක කාරක සභාවක් පමණක් බව පැහැදිළියැයි ද එහි දැක්වේ.
අදහස් (0)
ජාතික සභාවට සහභාගී නොවන දේශපාලන පක්ෂවලට ශ්‍රී.ල.නි.ප ආචාරය.


