රූපවාහිනි නාලිකා මගින් අධ්‍යාපන වැඩ සටහන්...

srilanka politics mahinda amarawera
By Nimal Jul 07, 2021 10:42 AM GMT
Report

පාසැල් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපන ගැටළුවලට විසඳුමක් වශයෙන් සියලුම රූපවාහිනි නාලිකා මගින් අධ්‍යාපන වැඩ සටහන් විකාශය කිරීමට අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපතිතුමන් අදාල අංශවලට උපදෙස් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට පාසැල් වසා ඇති බැවින් පාසැල් දරුවන් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ දී මාර්ග ගත ක්‍රමය අනුගමණය කළත් බොහෝ ප්‍ර දේශවල දුරකථන සංඥා නොමැතිවීම හා දුර්වලවීම හේතුවෙන් දරුවන්ට ගස්, ගල් , කඳු නැග අධ්‍යාපනය හැදෑරීමට සිදුවි ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අද දින ( 07) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. බොහෝ දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට ටැබ්, පරිගණක හෝ ස්මාට් දුරකථන නැත. එමෙන්ම තම ප්‍රදේශවල දුරකථන සංඥා නොමැති බව කියමින් දිනපතා තමන්ට දුරකථන පණිවුඩ ගණනාවක් ලැබෙන බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධව විසඳුමක් ලබා දීමට රජයේ අවධානය යොමු කර ඇති බව සඳහන් කළේය.

පෙරේදා ( 05) පැවැති අමාත්‍ය රැස්වීමේ දී තමන් මෙම කාරණය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බවත්, ඒ අනුව සියලුම රූපවාහිනි මාධ්‍ය නාලිකා යොදා ගනිමින් අධ්‍යාපන වැඩ සටහන් ආරම්භ කිරීමට පියවර ගත යුතු යැයි තමන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අතිගරු ජනාධිපතිතුමන්ගේ පූර්ණ අවධානය යොමු කරන ලද බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි මාසයකට අඩු කාලයක් තුළ මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස ජනාධීපතිතුමන් විසින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. ඇල් . පීරිස් මහතාටත් හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාටත් උපදෙස් දී තිබේ. ඒ අනුව මාර්ගගත අධ්‍යාපන කටයුතුවල යෙදෙන දරුවන්ගේ අධ්‍යාපනික ගැටළුවලට සියලුම රූපවාහිනි නාලිකා මගින් අධ්‍යාපන වැඩ සටහන් සකස් කිරීම ඉදිරියේ දී සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා කීය.

මේ සඳහා රාජ්‍ය මෙන්ම පුද්ගලික නාලිකාවලද සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් අතිගරු ජනාධිපතිතුමන් විසින් උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එමනිසා ඉදිරි මාසයකට අඩු කාලයක දී මෙම වැඩ පිළිවෙළ ආරම්භ කෙරෙන අතර දරුවන්ට දුරකථන හෝ සංඥා අපහසුතාවලින් තොරව තම නිවසේ සිටම අධ්‍යාපන කටයුතු හැදෑරීමේ අවස්ථාව ලබා දෙන බවත් අමාත්‍යවරයා කීය.