ප්‍රධාන බීම නිෂ්පාදන සමාගම් තුනකට අවවාදයක් ....

srilanka politics mahinda amarawera
By Nimal Jun 30, 2021 03:35 AM GMT
Report

 PET ( Polyethylene Terephthalate) බෝතල් තහනම් කිරීමට පෙර ඒවා ප්‍රතිචක්‍රියකරණය වැඩ පිළීවෙළක් සති දෙකක් තුළ සකස් කරන ලෙස පරිසර අමාති මහින්ද අමරවීර මහතා පවසයි.

අප රටේ විශාල ලෙස PET බෝතල් යොදා ගනිමින් පැණි බීම නිෂ්පාදනය කරන සමාගම් තුනක නියෝජිතයින් පිරිසක් සමග පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (29) PET බෝතල් තහනම් කිරීම සම්බන්ධව සාකච්ඡාවක් පවත්වනු ලැබීය. මෙම සාකච්ඡාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජිතයෙක්ද සහභාගි වුහ.

You may like this video


විශේෂයෙන් මෙම සමාගම් තුනම එම සමාගම් ආරම්භ කළ මුල් අවස්ථාවේ සිට වීදුරු බෝතල් යොදා ගනිමින් තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් තිබේ. එහෙත් වර්තමානය වනවිට අදාල සමාගම් තුනම පරිසර හානියට තුඩු දෙන ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින් තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරන බව ද දැනුම් දුන්නේය. කෙසේ වුවද මේ වනවිට එම සමාගම් තුනම ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රියකරණය සඳහා වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇතත් එම කටයුතු විදිමත් සිදු නොවේ. එම නිසා ප්‍රතිචක්‍රියකරණ කටයුතු විදිමත් කිරීම හෝ ප්ලාස්ටික් බෝතල්වල නිෂ්පාදන කටයුතු සිදු නොකිරීම හෝ කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම සමාගම් විසින් නිපදවන බීම බෝතල්වලින් සියයට 10ක්වත් ප්‍රතිචක්‍රියකරණයට ලක් නොවේ. එයට හේතුව ඒවා එක්රැස් කිරීමේ නිශ්චිත වැඩ පිළීවෙළක් ඔවුන්ට නොතිබීම බව අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දුන්නේය. පරිසර අමාත්‍යාංශය විසින් රජයේ ප්‍රතිපත්තිය අනුව ප්ලාස්ටික් හා පොලිතීන් තහනම් කිරීමේ වැඩ පිළිවෙළ අදියරෙන් අදියර මේ වනවිට ආරම්භ කර තිබේ. එමනිසා මීලඟ ලැයිස්තුවට PET බෝතල් ඇතුළත් කර ඇති නමුත් සති දෙකක් තුළ ප්‍රතිචක්‍රියකරණය සඳහා විදිමත් වැඩ පිළිවෙළක් යෝජනා නොකරන්නේ නම් ඒවා ද තහනම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කීය.

රජය විසින් ප්ලාස්ටික් හා පොලිතීන් තහනම් කිරීමට පියවර ගන්නා ලද්දේ එම සමාගම් අක්‍රිය කිරීම සඳහා නොව පාරිසරික හා සෞඛ්‍යමය වශයෙන් සිදුවන දැවැන්ත හානිය සළකා බලා ඉන් අනතුරුවය. විකල්ප නිෂ්පාදන සඳහා යොමුවන ලෙස සියලු සමාගම්වලට දැනුම් දුන්නද, කිසිදු සමාගමක් මෙතෙක් ප්ලාස්ටික් හා පොලිතීන්වලට විකල්ප නිෂ්පාදනයක් හඳුන්වා දීමට අපොහොසත්ව තිබේ. එමනිසා එකම විකල්පය මෙම නිෂ්පාදන තහනම් කිරීම වේ. රජය රසායනික පොහොර තහනම් කිරීමට ගත් අභියෝගාත්මක තීරණය නිසා සියලු දෙනාට කාබනික ගොවිතැනට යොමු වීමට සිදුවේ.

ලබන වසර වනවිට රටේ ගොවිතැන සඳහා සියයට 90ක්ම කාබනික පොහොර යොදා ගැනීම ඉළක්ක කර තිබේ. ඒ අනුව මෙම පොලිතීන් හා ප්ලාස්ටික් තහනම් කිරීම මගින් අදාල නිෂ්පාදන සමාගම්වලට විකල්ප සඳහා යොමු වීමට සිදුවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවුවද සති දෙකක් තුළ PET බෝතල් සඳහා විකල්ප වැඩ පිළිවෙළක් හඳුන්වා දීමට එම සමාගම් තුනම එකඟතාවය පළ කළේය. එමෙන්ම මින් එක් සමාගමක් මේ වනවිට මි.ලී. 250 කුඩා ප්ලාස්ටික් බෝතල්වල පැණි බීම නිෂ්පාදනය ආරම්භ කර ඇති බව කී අමාත්‍යවරයා වහාම එම නිෂ්පාදනය අත්හිටුවන ලෙස උපදෙස් දුන්නේය. මෙම කුඩා බෝතල් කිසිසේත්ම ප්‍රතිචක්‍රියකරණයට ලක් නොකෙරේ. එමනිසා එම නිෂ්පාදනයට අනෙකුත් සමාගම් යොමු නොවන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.