එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂණික මැදිහත්වීම අවශ්‍යයි...

srilanka politics dines gunawardana
By Nimal Jun 09, 2021 07:40 AM GMT
Report

  ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සඳහා ප්‍රයෝජනවත් නොවන කොන්ග්‍රස් සභික ඩෙබොරා රොස් විසින් ඉදිරිපත් කරන ලද අංක H.Res.413 යෝජනාව ඉල්ලා අස්කර ගැනීම හෝ සංශෝධනය කිරීම සඳහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂණික මැදිහත්වීමක් අවශ්‍ය බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (8) කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මාටින් ටී. කෙලී මහතා හමුවේ ප්‍රකාශ කෙළේය.

 ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දුන් සහයෝගයට විදේශ අමාත්‍යවරයා එරට රජයට සහ එක්සත් ජනපද ජනතාවට ස්තූතිය පුද කළේය. COVAX වැඩසටහන හරහා COVID-19 එන්නත් ලබා ගන්නා රටවලින් එකක් ශ්‍රී ලංකාව බවට එක්සත් ජනපද ජනාධිපති මෑතකදී කළ නිවේදනය මෙහිදී අමාත්‍යවරයා ගේ විශේෂ ඇගැයුමට ලක් විය.  

මේ වසරේ පසුගිය ජුනි 04 වන දින පැමිණි USIAD හදිසි වෛද්‍ය සැපයුම් තොගය සහ එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් නැව ගිනි ගැනීමෙන් සිදුවීමට තිබු දැඩි පාරිසරික හානිය අවම කිරීම සඳහා එක්සත් ජනපදයේ සහාය ලබා දීමටඉදිරි පත් වීම පිළිබදවද අමාත්‍යවරයා සිය කෘතඥතාව පල කළේය.

මෙම රැස්වීමට එක්වෙමින් විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොලම්බගේ විසින් COVID-19 වසංගතය පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයන් සහ දැනට පවතින එන්නත් කිරීමේ වැඩසටහනේ තත්ත්වය පිළිබඳව විස්තර කළේය. හවුල්කාරිත්ව සංවාදය කැඳවීම සහ වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුම් ඒකාබද්ධ කොමිසම ඇතුළු පුළුල් පරාසයක කරුණු මෙම හමුවේදී දෙපාර්ශවය අතර සාකච්ඡාවට බදුන් විය.