පාසල් නිවාඩු සමයේ උණුසුම් කාලගුණයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය උපදෙස් මාලාවක්
මේ වනවිට පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හමුවේ දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දී තිබේ.
මෙම දිනවල පවතින තද උණුසුම නිසා දරුවන් විජලන තත්ත්වයන්ට පත්වීමේ වැඩි අවදානමක් පවතින ඔහු පෙන්වා දෙයි .
ඒ වගේම වෛද්‍යවරයා අනතුරු අඟවන්නේ දිගු වේලාවක් දැඩි අව් රශ්මියේ ක්‍රීඩා කිරීමෙන් ශරීරයට දැඩි බලපෑම් ඇතිවිය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී කම්පන තත්ත්වයන් මෙන්ම හෘදය වස්තුවට සහ මොළයට පවා බලපෑම් ඇති විය හැකි බවයි.
තවද විජලනයේ මූලික ලක්ෂණ ලෙස හිසරදය, වමනය, ඇඟපත රිදීම, නිදිමත ගතිය, අපහසුතාව, ආහාර අරුචිය සහ මුත්‍රා තද පැහැවීම දැක්විය හැකි බැවින්, එළිමහනේ සෙල්ලම් කරන දරුවන්ට ප්‍රමාණවත් පරිදි ජලය ලබාදීම අත්‍යවශ්‍යය .
ඔහු පෙන්වා දෙන්නේ ජලයට අමතරව තැඹිලි වතුර, ජීවනී, දෙහි, දොඩම්, අඹ, දෙළුම්, කැඳ සහ සුප් වර්ග වැනි ස්වභාවික දියර වර්ග දරුවන්ට ලබාදීම වැදගත් බවයි.
හිරු මුදුන් වන වේලාවන්හිදී සරල කපු ඇඳුම් ඇඳීම, හිස් වැසුමක් භාවිත කිරීම සහ ගස් සෙවණක් වැනි සිසිල් ස්ථානයක විවේක ගැනීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව වෛද්‍යවරයා සදහන් කර තිබේ
ඒවගේම නිවාඩු කාලය නිසා නිවෙස්වල වැඩිපුර රැඳී සිටින දරුවන් පිළිබඳව දෙමාපියන් මීට වඩා කල්පනාකාරී විය යුතු බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කර ඇත.