කෝවිඩ් රෝගයෙන් ස්වයං රැකවරණයට අවශ්‍ය උපදෙස් සහ ක්‍රියාමාර්ග .....

srilanka health sudarsane prenandu pulle
By Nimal Aug 23, 2021 05:12 PM GMT
Nimal

Nimal

Report


ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් පැතිර යන කෝවිඩ් රෝගය තවදුරටත් පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (23) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි.

නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති මේ මොහොතේ නිවසට වී සිටින පිරිස් සදහා මෙන්ම කෝවිඩ් ආසාදිතව සහ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින අය සදහා අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සැකසීමට මෙහිදී අවධානය යොමු විය.

කෝවිඩ් 19 ආසාදනය වීමෙන් පැවැතිය හැකි රෝග ලක්ෂණ පිළිබදව තවදුරටත් දැනුවත් කිරීමට මෙන්ම රෝගය වැළදී ඇතැයි සැක සිතෙන අයට, දැනටමත් රෝගය වැළදී ඇතැයි තහවුරුව ඇති අයට සහ රෝගියෙකුගේ ලගම ආශ්‍රිතයෙකුට අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් මාලාවක් සකස්කර බෙදා හැරීමට මෙහිදී යෝජනා විය. එමෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ඇමතිය යුතු දුරකතන අංක, හදිසි අවස්ථාවකදී රෝහල්ගත වීම සදහා ඇමතිය යුතු දුරකතන අංක මෙන්ම නිවසේදී අනුගමනය කල යුතු පියවරයන් පිළිබදවද මෙමගින් දැනුවත් කිරීමට නියමිතය.

නිවසේ හුදකලාව සිටින අය සදහා මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට අවශ්‍ය කරන උපදෙස්ද ඇතුළත්ව මෙම උපදෙස් මාළාව සකස් කිරීමට නියමිතය. මීට සමගාමිව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට සම්බන්ධිත ස්වයං රැකවරණ මෘදුකාංගයක් (Self Care App) මගින් නිවසේ සිටින අයට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිවැරදි මගපෙන්වීමක් සිදුකිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීමටද යෝජිතය.

ඊට අදාල සැලසුම කැළණීය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කුමාර් මෙන්ඩිස් මහතා විසින් ඉදිරිපත් කරන ලදි. ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ගැනීමට යායුතු ස්ථානයන් මොනවාද යන්න පිළීබදව ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් අමාත්‍යතුමිය, එවැනි පරීක්ෂණ සිදුකෙරෙන ස්ථානයන් පිළිබදව දැනුවත් කිරීමට ලැයිස්තුවක් සකස් කර ප්‍රසිද්ධ කළ යුතු බව මෙහිදී අවධාරණය කළ ඒ අනුව වැඩපිළිවෙලක් සකස් කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ප‍්‍රජා වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලාල් පනාපිටිය, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් (ප්‍රජා සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් (මහජන සෞඛ්‍ය 1) විශේෂඥ වෛද්‍ය ආනල්ඩ්, මහාචාර්ය කුමාර් මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now