තෘප්තියකින් යුතුව වැඩ කිරීමට අවශ්‍ය පහසුකම්....
කොවිඩ් වසංගතය ආරම්භ වීමත් සමග ම සතුටු දායක සේවාවක් ඉටු කරමින් ආදායම් උත්පාදන ක්‍රියාවලියේ අඛණ්ඩව නිතරවීම පිළිබඳව ශ්‍රී ලංකා රේගු නිලධාරීන් හට සිය ප්‍රණාමය පිරිනමන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
බැසිල් රාජපක්ෂ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්, ඒ ආශ්‍රිතව සිය සේවාවන් පවත්වාගෙන යන ආයතනවල නියෝජිතයන් සමග අද මුදල් අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදීය. ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් හට සිය වෘත්තීය කටයුතුවල නිරතවීමේ දී ප්‍රායෝගිව මුහුණ පෑමට සිදු වන ගැටලුකාරී තත්ත්වයන්, ශ්‍රී ලංකා රේගුව සමග නිරන්තරයෙන් කටයුතු කරන විවිධ ආයතන සිය සේවාවන් ඉටු කර ගැනීමේ දී මුහුණ දී ඇති දුෂ්කරතා පිළිබඳව සහ ආදායම් උත්පාදන ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සම්බන්ධයෙන් මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මෙහිදීඅදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා , සේවක පිරිස් වෙත තෘප්තියකින් යුතුව වැඩකටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය කටයුතු කරන අතර ම එතුළින් වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට රේගු නිලධාරීන් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද මෙහි දී සඳහන් කළේ ය.
එක් එක් ක්ෂේත්‍රයන්හි නියෝජිතයෝ මුදල් අමාත්‍යවරයා වෙත සිය ක්ෂේත්‍රයට අදාළව මුහුණ පෑමට සිදුව ඇති හඳුනා ගත් ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව මෙහි දී කරුණු ඉදිරිපත් කළහ. ශ්‍රී ලංකා රේගුව මේ වන විට ලෝක රේගු සංවිධානයේ සහ ලෝක වෙළෙඳ සංවිධානයේ එකගතා සහ ප්‍රඥප්තීන්ට අනුව වෙළෙඳාම පහසු කිරීම පිණිස ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහි දී කරුණු ඉදිරිපත් විය.
ඒ අනුව තොරතුරු තාක්ෂණ සංනිවේදනය භාවිත කරමින් වඩාත් කාර්යක්ෂම නිෂ්කාශන ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර පසුගිය කොවිඩ් වසංගත තත්ත්වය ඇති වීමත් සමග අවම පුද්ගල සහභාගීත්වයකින් නිෂ්කාශන කටයුතු සිදු කර ගැනීමට එමගින් පහසුකම් සැලසිණි. එසේ ම මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් ආනයනික භාණ්ඩවල වටිනාකම් තක්සේරු කිරීමේ නවීන දත්ත පද්ධතියක් සකස් කර ඇති අතර එම පද්ධතිය නිෂ්කාශන ස්ථාන හා සම්බන්ධ කර ජාල ගත කරනු ලැබ ඇත. මෙමගින් ක්‍රමවත්ව ආදායම වැඩි කර ගැනීමට අවස්ථාව සැලසෙන අතර බහාලුම් නිෂ්කාශනයේ දී අවධානම් කළමනාකරණ කර ගැනීමේ ක්‍රියාවලිය තුළින් ද වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට මේ වන විට කටයුතු කරමින් සිටියි.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රේගු වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.
