ජනපති අරමුදල වෙනුවෙන් ලැබුණු අයදුම්පත්

Sri Lanka President of Sri lanka
By Sithumi Dec 30, 2022 12:59 PM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපති අරමුදල වෙත 2022 වසර අවසානය වනවිට ලැබී තිබූ අයදුම්පත් 11,000ක පමණ ප්‍රමාණයෙන් අයදුම්පත් 10,360ක වැඩ කටයුතු අවසන් කිරීමට පියවර ගෙන තිබෙන බව එහි ලේකම් ඩබ්.ඒ. සරත් කුමාර මහතා පවසනවා.  

එම අයදුම්පත්වලට අදාළ ගෙවීම් කටයුතු ද බොහෝ ප්‍රමාණයක් දැනටමත් අවසන් කර ඇති අතර ඉතිරි අයදුම්පත් සම්බන්ධයෙන් ද අදාළ මුදල් ගෙවීම් කඩිනමින් නිරවුල් කරමින් සිටින බවත් එම කටයතු ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරීමට නියමිතව ඇති බවත් සරත් කුමාර මහතා සඳහන් කළා.

මෙම වර්ෂය තුළ වෛද්‍යාධාර සඳහා රුපියල් මිලියන 1,500කට ආසන්න මුදල් ප්‍රමාණයක් දැනටමත් ගෙවා අවසන් බවත් ඔහු පෙන්වා දෙයි. ජනාධිපති අරමුදල වෙත 2022-08-01 දින වනවිට ලැබී තිබූ අයදුම්පත් ප්‍රමාණය 8,210ක් වන අතර එහි වැඩකටයුතු සිදු නොකර ගොඩගැසී තිබු අතර, මෙම දෙසැම්බර් 31 දිනට පෙර එම අයදුම්පත්වලට අදාළ වැඩකටයුතු නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබුණා.  

ඒ අනුව අයදුම්පත් 10,360ක වැඩකටයුතු මේ වනවිට අවසන් කර තිබෙන අතර වර්ෂ අවසානයේ ලැබී ඇති හා විවිධ හේතු මත වැඩ අවසන් නොවූ අයදුම්පත්‍ර 642ක් සම්බන්ධයෙන් ද අදාළ කටයුතු කඩිනමින් සිදු කරමින් පවතින බවත් එම කටයුතු ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරීමට නියමිත බවත් සරත් කුමාර මහතා සඳහන් කළා.

  එසේම වෛද්‍යාධාර ලබාදීමේ දී සැත්කම් සහ ප්‍රතිකාර ලබාගැනීම වෙනුවෙන් දැනට ගෙවනු ලබන මූල්‍යාධාර වැඩිකිරීම සඳහා අවශ්‍ය නි‍ර්දේශ ලබාගැනීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙන අතර, එම කමිටු නිර්දේශ ලද වහාම ගෙවනු ලබන වෛද්‍යධාර ප්‍රමාණයන් වැඩි කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්  දී තිබෙනවා.

ඒ අනුව 2023 වර්ෂයේ මුල් මාස කිහිපය තුළ වෛද්‍යාධාර වශයෙන් ගෙවනු ලබන දීමනා වැඩි කිරීමට කටයුතු කෙරෙන අතර ජනාධිපති අරමුදල් පනතේ අනුමත විධිවිධාන අනුව කරුණාසහගත දීමනාවන් සහ ආගමික කටයුතු වඩා වැඩිදියුණු කිරීම සඳහා රු. මිලියන 20ක් ද, ජනාධිපති අරමුදල වෙත ලැබෙන මුදලින් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා රු.මිලියන 1,300ක පමණ මුදලක් ද වර්ෂය තුළ නිදහස් කර තිබෙනවා.  

එසේම 2023 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි 2024 වර්ෂයේ දී අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් 3,000කට මසකට රුපියල් 5,000 බැගින් පුරා වසර දෙකක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ද ජනාධිපතිවරයාගේ උ‍පදෙස් පරිදි කටයුතු කර තිබෙන අතර දැනට එම සිසුන් තෝරා ගැනීමේ කටයුතු සිදුකරමින් පවති.. සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් එම අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අදට (30) යෙදී තිබෙනවා.