ෂෝෂල් මීඩියා ආතල් අරන් දවල් හීන දකින්න.. හරිනි කියන්නේ අපට ඉතාම වටිනා සම්පතක් - ඇමති බිමල් කියපු ටික..
ආණ්ඩුව බෙදෙන තුරු බලා සිටීම විපක්ෂයේ ප්‍රධාන කාර්යය බවත්, 2005 සමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලවත් පාලන කාලයේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය ඔහුගේ ගුවන් යානයක් අනතුරකට ලක්වී ආණ්ඩුව තමන්ට හිමිවනු ඇතැයි බලා සිටි බවත් ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ඔහු මෙසේ පැවසුවේ, විපක්ෂයේ සිටින්නේ “සත පහේ ලොස් පොරවල්” බව අවධාරණය කරමින්, ඊයේ (12) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමකින් පසු මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අමාත්‍යවරයා එහිදී මෙසේ අදහස් දැක්වීය;
“ජාතික ජන බලවේගය තුළ ජනතා විමුක්ති පෙරමුණ එකතුවෙලා තියෙන්නේ. අපි අවංකව වැඩ කරලා ජාතික ජන බලවේගය ගොඩනැගුවා. ඒක එකට වැඩ කරද්දි, එකට සැලසුම් කරලා, ඡන්ද පැරදිලා, ඒ පරාජයන් හරහා ඉදිරියට ඇවිත් තමයි අපි වැඩ කරන්නේ. අපි අතර කිසිම භේදයක් නෑ. අපි එකමුතුව හොඳින් වැඩ කරනවා.
ජනාධිපති අනුර දිසානායක මහතා තරම්ම, ආචාර්ය හරිනි අමරසූරිය අපට ඉතාම වටිනා දේශපාලන සම්පතක්. ඒ නිසා අපි එකමුතුව, පුළුල් ආදරයකින්, සම්පූර්ණ එකඟතාවයකින් වැඩ කරනවා.”
“සජිත්ලා, නාමල්ලා බලන් ඉන්නේ අපි බෙදෙනකම්. ඒ නිසා කැමති නම් සමාජ මාධ්‍යවල ආතල් ගන්න එකේ වරදක් නෑ. ඒත් ඒවා බොරු මාධ්‍ය ප්‍රබන්ධ විතරයි. 2005දී මහින්ද රාජපක්ෂ මහත්තයා බලවත්ව ආණ්ඩුව අරගෙන ගිය කාලේ, රනිල්ටයි සජිත්ටයි ඇඩ්‍රස් නැතිව ගියා. ඒ වගේම ඒ ගොල්ලෝ හිතුවේ ප්ලේන් එකක් හරි අනතුරකට ලක්වෙලා ආණ්ඩුව ලැබෙයි කියලා. ඒවා ඇත්තටම මට කියලත් තිබුණා.”