ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතු නිර්මාණය කරයි

By Malith Madushan Sep 24, 2026 05:25 AM GMT
Report

අමෙරිකාවේ දකුණු ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකික ආචාර්ය ලහිරු ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්‍යාඥ කණ්ඩායමක් නව ආහාර නිෂ්පාදන ක්‍රමවේදයක් සාර්ථකව අත්හදා බලා තිබේ. නාසා ආයතනයේ අනුග්‍රහය යටතේ සිදුකර ඇති මෙම පර්යේෂණයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ ඉවතලන ශාක ද්‍රව්‍ය භාවිත කරමින් ප්‍රෝටීන් බහුල, ආහාරයට ගත හැකි 3D මුද්‍රිත කුකීස් නිෂ්පාදනය කිරීමට පර්යේෂකයන් සමත්ව ඇත.

මෙම ක්‍රියාවලිය සඳහා ජල සහ සිසිල් බීම බෝතල් නිෂ්පාදනයේදී බහුලව භාවිත වන පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) ප්ලාස්ටික්, ඉවතලන ඉරිඟු ශාක කොටස් සහ අනෙකුත් ජෛව ස්කන්ධ භාවිත කර තිබේ.

ප්ලාස්ටික් ආහාරයක් බවට පත් කරන ක්‍රමය

මෙහිදී ප්ලාස්ටික් සහ ශාක අපද්‍රව්‍ය ජලය හා ඔක්සිජන් සමඟ අධික උෂ්ණත්වයක සහ පීඩනයකදී සැකසීම සිදුකරයි.

එමගින් ඒවා ක්ෂුද්‍රජීවීන්ට දිරවිය හැකි කුඩා සංයෝග බවට පත් කෙරේ. ඉන් අනතුරුව විශේෂයෙන් සකස් කළ බැක්ටීරියා හෝ යීස්ට් වික්‍රියා එම සංයෝග වෙත එක් කරනු ලබයි.

එම ක්ෂුද්‍රජීවීන් ප්ලාස්ටික්වලින් ලබාගත් සංයෝග පරිභෝජනය කරමින් ඒවා ප්‍රෝටීන්, මේද සහ අත්‍යවශ්‍ය සීනි අඩංගු ජෛව ස්කන්ධයක් බවට පරිවර්තනය කරයි.

එලෙස සකස් කරගත් පේස්ට් වර්ගය තන්තු, පිෂ්ඨය සහ රසකාරක සමඟ මිශ්‍ර කර 3D ආහාර මුද්‍රණ යන්ත්‍රයක් මගින් කුකීස් හැඩයට ස්ථරයෙන් ස්ථරයට මුද්‍රණය කර තිබේ.

අවසානයේ එම කුකීස් බේක් කර ආහාරයක් ලෙස සකස් කරනු ලබන අතර, මෙම නිෂ්පාදනය “µBites” ලෙස නම් කර ඇත. එක් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන පිරිවැය අමෙරිකානු ඩොලර් 60ක් පමණ වන බව සඳහන් වේ.

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - තීරණාත්මක 22 වැනි සංශෝධනය ගැන විවාදය අද

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - තීරණාත්මක 22 වැනි සංශෝධනය ගැන විවාදය අද

අභ්‍යවකාශ ගමන්වලටත් ප්‍රයෝජනවත්

මෙම තාක්ෂණය දීර්ඝකාලීන අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

විශේෂයෙන් අඟහරු වැනි දුරස්ථ ගමනාන්ත වෙත සිදුකරන දිගුකාලීන අභ්‍යවකාශ මෙහෙයුම්වලදී, අභ්‍යවකාශ යානය තුළ පවතින ප්ලාස්ටික් ඇසුරුම් සහ ඉවතලන ද්‍රව්‍ය නැවත පෝෂ්‍යදායී ආහාර බවට පත් කරගැනීමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇත.

එමෙන්ම සබ්මැරීන තුළ හෝ ස්වභාවික ආපදා හේතුවෙන් ආහාර ලබාගැනීම අපහසු අවස්ථාවලදීද මෙම තාක්ෂණය ප්‍රයෝජනයට ගත හැකි බව සඳහන් වේ.

2050 වන විට ගෝලීය ආහාර අවශ්‍යතාව ඉහළ යාමත් සමඟ ලෝකය මුහුණ දෙන ආහාර අනාරක්ෂිතභාවයටද ක්ෂුද්‍රජීවීන් පදනම් කරගත් මෙම තාක්ෂණය විසඳුමක් විය හැකි බව ආචාර්ය ලහිරු ජයකොඩි මහතා පෙන්වා දී තිබේ.

ප්ලාස්ටික් දූෂණය සහ ආහාර අනාරක්ෂිතභාවය යන ගැටලු දෙකටම එකවර විසඳුමක් ලබාදීම අරමුණු කරගත් මෙම පර්යේෂණය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා මිනිසුන් සම්බන්ධ පරීක්ෂණ සිදුකිරීමට ආයතනික අනුමැතිය ලබාගැනීමට නියමිතය.

මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලදී නිෂ්පාදනය කළ කුකීස්වල සුවඳ යහපත් මට්ටමක පවතින බවද පර්යේෂකයන් සඳහන් කර තිබේ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සජබෙන් දැවැන්ත විරෝධතාවක් -බත්තරමුල්ල සහ පොල්දූව හන්දිය අවට තදබදයක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සජබෙන් දැවැන්ත විරෝධතාවක් -බත්තරමුල්ල සහ පොල්දූව හන්දිය අවට තදබදයක්