තහනම් කරද්දීත් බාධා මඟහැර දත්තවලට රිංගන්න හදපු AI එකක්- OpenAI ප්‍රධානී සෑම් ඕල්ට්මන් කැඳවා ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් දැඩි දෝෂදර්ශනයක්
OpenAI හි AI මෙවලමක් ඕස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය වෙබ් අඩවියකට “පිළිගත නොහැකි” ආකාරයෙන් අනවසර ප්‍රවේශයක් ලබාගෙන ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර තිබේ.
සෞඛ්‍ය සංඛ්‍යාලේඛන සේවාවට අදාළ පොදු මෙන්ම සීමාසහිත ගොනු වෙත එම AI මෙවලම ප්‍රවේශ වී ඇති බව අග්‍රාමාත්‍යවරයා බදාදා නිව්යෝර්ක්හිදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය දැනුවත් කිරීමට OpenAI ආයතනය සැප්තැම්බර් 10 දක්වා කාලයක් ගත කර ඇති බවත්, ඒ සඳහා සාමාන්‍ය පොදු විද්‍යුත් තැපැල් ලිපිනයකට පණිවිඩයක් යවා ඇති බවත් ඇල්බනීස් පැවසීය. “සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ දැඩි කනස්සල්ල පළ කිරීමට මම අද OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන් සමඟ සාකච්ඡා කළා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
එමෙන්ම සිද්ධිය පිළිබඳව රජය දැනුවත් කිරීමට OpenAI ආයතනය ගත කළ කාලය සම්බන්ධයෙන් තමන් කලකිරීමට පත්වූ බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඇල්බනීස්ට අනුව, සීමාසහිත දත්ත සමූහයකට ප්‍රවේශ වීමට උත්සාහ කිරීමේදී අදාළ AI මෙවලම සෞඛ්‍ය පර්යේෂණ කටයුත්තක නිරතව සිට ඇති අතර, ප්‍රවේශය අවහිර කිරීමෙන් පසුව එම බාධාව මඟහැරීමට ක්‍රම සොයා බලා තිබේ. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු රජයේ සේවා ජාලයට පුළුල් බලපෑමක් එල්ල වූ බවට මේ වන විට සාක්ෂි නොමැති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වී ඇති බවටද මේ වන විට විශ්වාසයක් නොමැති නමුත්, සිද්ධිය සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව ඔහු පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් “අධිකරණමය තාක්ෂණික විමර්ශනයක්” (forensic investigation) සිදු කිරීමට ඕස්ට්‍රේලියානු Signals Directorate ආයතනය සහාය ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
වෙනත් රජයේ පද්ධතිවලටද බලපෑමක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් එහිදී වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙනු ඇත. මේ අතර, සිද්ධිය පිළිබඳව OpenAI ආයතනයද ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඕස්ට්‍රේලියාව සම්බන්ධ ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමේදී සහ ලබාගත හැකි සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීමේදී ඕස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවි හා සේවා කිහිපයක් සම්බන්ධ ක්‍රියාකාරකම් හඳුනාගත් බව එම සමාගම සඳහන් කර ඇත.
එම ක්‍රියාවලියේදී තම AI මාදිලි විසින් තමන් අපේක්ෂා නොකළ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද OpenAI ප්‍රකාශ කර තිබේ.
AI තාක්ෂණය මගින් ඇති විය හැකි සයිබර් ආරක්ෂක අවදානම් පිළිබඳ ගෝලීය අවධානය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සිද්ධිය වාර්තා වී ඇත. OpenAI සහ Anthropic ඇතුළු ලොව පුරා සංවිධාන 100කට වැඩි සංඛ්‍යාවක් AI මගින් බලගැන්වෙන සයිබර් ආරක්ෂක තර්ජනවලට මුහුණදීම සඳහා ගෝලීය සහයෝගීතාවක් ඉල්ලා විවෘත ලිපියකටද අත්සන් තබා තිබේ.