මෙරට ගෘහ සේවිකාවක් ඉතිහාසයේ ලොකුම වන්දි මුදලත් රැගෙන මෙරටට පා තබයි..!
ඊයේ (03) උදෑසන තමන්ගේ ජීවිතයට සිදු වූ විශාල අසාධාරණයක් නිසා මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වන රුපියල් හැට අට ලක්ෂයක් ලබා ගත් ශ්‍රී ලාංකික තරුණිය කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය මහියංගනය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණියකි. 2022.10.22 දින කුවේට් රාජ්‍යයේ (Sabah Al Salim City) ගෘහ සේවය සදහා ගොස් තිබුණේ එරට රාජ්‍ය සේවයේ නිරත සේවකයින් සිටින නිවෙසකටය.
එනම් මෙහිදී, එම නිවසේ සිටින මෙම හාම්පුතාගේ 32 හැවිරිදි පුතා විසින් අවස්ථා කීපයක දී මෙම තරුණියට බලහත්කාරකම් සිදු කර තිබෙනවා.
ඉන්පසුව රෝගාතුරව සිටි මෙම තරුණිය ශ්‍රී ලංකාවට ආපසු එවීම සදහා කුවේට් රාජ්‍යයේ ගුවන් තොටුපොළ වෙත බලහත්කාරකම් සිදු කළ කුවේට් ජාතික තරුණයාගේ පියා විසින් ගෙනැවිත් භාර දී ඇති අතර කුවේට් ගුවන්තොටුපොළ නිලධාරීන් තරුණිය ගෙන් කරුණු විමසා මේ පිළිබඳව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය තානාපති අබ්දුල් හලීම් මහතාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාලයේ තෙවන ලේකම් ජනක සමරසේකර, භාෂා පරිවර්තක අමීර් හසන් සහ රවුෆ් යන මහත්වරුන් විසින් මෙම තරුණිය ජබරියා හි අල් මුබාරක් රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ඉන්පසුව මෙම සිදුවීම අහමදි අධිකරණය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකික නිලධාරීන්, එරට නීතිවේදීන් සමග මාස 06 ක පමණ කාළයක් දැඩිව ගැටෙමින්, මෙම තරුණිය වෙත කුවේට් ඩිනාර් 6,500 ක් වටිනා රුපියල් ලක්ෂ 68 ක වන්දි මුදල ලබා දීමට කටයුතු කර තිබුණි.
