ලංකාව ඇමරිකාව එක්ක ඩොලර් මිලියන 15ක ගිවිසුමක්
ජාත්‍යන්තර සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය (Accreditation) සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ STEMedical සහ ශ්‍රී ලංකාවේ Sri Lanka Institute of Biotechnology (SLIBTEC) ආයතන අතර මෙම ගිවිසුම ක්‍රියාත්මක වේ.
පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) මඟපෙන්වීම යටතේ සිදු කෙරෙන ඩොලර් මිලියන 15ක් වන මෙම ආයෝජන ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට අමෙරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනය වෙනුවෙන් එහි නිර්මාතෘ මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් මහතා සහ ශ්‍රී ලංකාවේ (SLIBTEC) ආයතනය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය සමිත හෙට්ටිගේ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අමාලි රණසිංහ යන මහත්ම මහත්මීන් අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, කෘෂි, රූපලාවණ්‍ය සහ ආයුර්වේද ඇතුළු බොහෝ ක්ෂේත්‍ර සඳහා මෙන්ම ආනයන සහ අපනයන ක්ෂේත්‍රයන්හි පරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය සහිත රසායනාගාර ධාරිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව කලක සිට පැවතුණි.
මෙම අවස්ථාවට එක් වූ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා අද දිනය ශ්‍රී ලංකාවට සුවිශේෂි දිනයක් වන බවත් ප්‍රතීතනය යන්න රටකට ඉතා වැදගත් වන්නක් බවත් පැවසීය. වසර 2030 වන විට මෙරට අපනයන ආදායම දෙගුණයක් කිරීම සඳහා වන රජයේ අරමුණ කරා යාමේදී මෙවන් ප්‍රතීතන පහසුකම් සහිත රසායනාගාර ව්‍යාපෘතියක වැදගත්කම උඩුගමසූරිය මහතා මෙහිදී අවධාරණය කළේය.
