ඩිජිටල් හැඳුනුම්පත ගැන ඇහෙන අලුත්ම සුබ ආරංචිය

Report

පුද්ගල අනන්‍යතාව සියයට සියයක් නිවැරදිව තහවුරු කළ හැකි ඩිජිටල් හැඳුනුම්පත මෙම වසරේ අගභාගය වන විට ජනතාවට නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සදහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (25) පැවැති ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ 2026 වසර සඳහා සැලසුම් කර ඇති ඉදිරි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව‍ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමිනි.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව තිබුණි

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ මෙම ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය මෙරටට හඳුන්වා දීමට 2012 වසරේ සිටම විවිධ උත්සාහයන් ගෙන තිබුණ ද, එම උත්සාහයන් සාර්ථක වී නොතිබුණු බවයි .

කෙසේ වෙතත්, වත්මන් පාලන සමයේ පළමු වසර තුළ ලැබූ සුවිශේෂී ප්‍රගතිය හේතුවෙන් මේ වන විට එහි ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවත් එළඹෙන අප්‍රේල් මාසය වන විට එම ප්‍රසම්පාදන කටයුතු නිම කර, වසරේ තෙවන හෝ සිව්වන කාර්තුව වන විට පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම රජයේ අරමුණ වන බවත් එතුමා සදහන් කරයි.

 මෙහි තිබෙන සුවිශේෂීත්වය වන්නේ දැනට භාවිත වන සාම්ප්‍රදායික හැඳුනුම්පත් වෙනුවට පුද්ගලයන්ගේ ජීවමිතික දත්ත (Biometric data) භාවිත කිරීමයි .

ඒ වගේම මේ හරහා තමන් කවුද යන්න ඕනෑම ස්ථානයකදී නිවැරදිව ඔප්පු කිරීමට පුරවැසියන්ට අවස්ථාව උදාවෙනු ඇත.

මෙය රජයේ ආයතන සහ ජනතාව අතර පවතින සබඳතාවයේ දැවැන්ත පරිවර්තනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි.

  තවද රජය අවධාරණය කරනු ලබන්නේ මෙම නව පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ ජනතාවට රජයේ කාර්යාල වෙත භෞතිකව පැමිණීමේ අවශ්‍යතාවය විශාල වශයෙන් අඩු වනු ඇති බවයි

එමෙන්ම, වෙනත් අයෙකු ලෙස පෙනී සිටිමින් සිදුකරන මූල්‍ය වංචා, සොරකම් සහ විවිධ අක්‍රමිකතා වැළැක්වීමට ද මෙමඟින් පූර්ණ හැකියාව ලැබේ.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා තව දුරටත් ප්‍රකාශ කළේ මෙම ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීම, ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි .