බොරු ලෙඩ දමා රට පනින දේශපාලනඥයන්ට වැඩ වරදියි - රජය කරන්න යන දේ මෙන්න
විවිධ දූෂණ හා වංචා චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හෝ වෙනත් විමර්ශන අංශ පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු, ව්‍යාජ වෛද්‍ය හේතු දක්වමින් විදේශගත වීමට උත්සාහ දරන දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස රජය බුද්ධි අංශ වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක්ම මේ වන විට එවැනි සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ සෙවීම් ආරම්භ කර ඇත.
මේ අතර, චෝදනාවලට ලක්වූ ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට ද විමර්ශන අංශ තීරණය කර තිබේ.
විමර්ශන ආරම්භ වීමත් සමඟ විදේශගත වී නැවත මෙරටට නොපැමිණි දේශපාලනඥයන් කිහිපදෙනෙකු පිළිබඳව ද තොරතුරු රැස්කරමින් සිටින අතර, ඔවුන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය සාකච්ඡා පවත්වමින් සිටින බව ආරක්ෂක ආරංචි මාර්ග තහවුරු කරයි.
තවද, මීට පෙර විවිධ ජනාධිපති පොදු සමාවන් යටතේ නිදහස් කෙරුණු ඇතැම් පුද්ගලයන් නිදහස් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූයේ ද යන්න සෙවීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අධිකරණ ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.