පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයට බලය අහිමි වෙයි..ඉදිරියේදී වෙන දේ මෙන්න.
දේශපාලන පිටියේ පසුගිය දිනවල සිදුවුණු විවිධ පෙරළි සහ හැලහැප්පීම් හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දැඩි උණුසුම්කාරී තත්වයක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් තහවුරු වනවා.
එසේම ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අතරතුරදි පිල් මාරුවීම් කිහිපයක්ද සිදුවනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමග පාර්ලිමේන්තුවේ බල තුලනයද වෙනස්වී ආණ්ඩු පක්ෂයේ බහුතර බලය අහිමිවී ගොස් ඇති බවයි පැවසෙන්නේ.
දේශපාලන විචාරකයෝ සඳහන් කරන්නේ, මේ හේතුවෙන් යම් පනතක් සම්මත කිරීමේදී අවශ්‍ය සරල බහුතරය ලබා ගැනීමද ඉදිරියේදී ගැටලුකාරී වනු ඇති බවයි.
ආණ්ඩුවේ සහයට මීට පෙර මන්ත්‍රීවරුන් 117 ක් පමණ සිටි අතර එම සංඛ්‍යාව මේ වනවිට සියයකට ආසන්න සංඛ්‍යාවක් දක්වා පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව, සාමාන්‍ය පනතක් සම්මත කිරීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 (සරල බහුතරය) මේ හේතුවෙන් අහිමිව ගොස් තිබේ.
මේ අතර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැදවීමේ දිනය ලං වෙමින් පවතින හෙයින් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ සාකච්ඡාද ඒ ඒ දේශපාලන පක්ෂ ඉතා ප්‍රබල අදියරකින් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කිරීමත් සමඟ මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමට සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.
මෙතෙක් කල් ආණ්ඩුවේ කටයුතුවලට සහාය දුන් මෙම පිරිස වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සහාය දීමත් සමඟ ඔවුහු විපක්ෂයේ භූමිකාව ඉටු කරන පිරිසක් බවට නිතැතින්ම පත්ව ඇත.
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවෙන්නේ මෙම මස 15 වැනිදා වන අතර අද දිනයෙන් පසු තැපැල් ඡන්ද සඳහා අයදුම් කිරීම අවසන් වනු ඇති.
කෙසේවෙතත් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වූ අතර ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොමිසම වැඩිදුරටත් දන්වා සිටියි.
ඒ අනුව තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන අතර, කිසිදු හේතුවක් මත එය කල් නොදැමෙන බව ද මැතිවරණ කොමිසම පවසයි.
තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකිය.
