යුක්රේන ජනපති සටන අත්හරී..! - භයානක යුද්ධයේ නවතම තත්ත්වය මෙන්න..(Update)

Russia attack Ukraine world news gagana news Sri lanka sinhala news
By krishani Feb 25, 2022 01:42 AM GMT
krishani

krishani

Report

02/25/2022 Update 

යුක්රේන ජනපති සටන අත්හරි 

දරුණු ගැටුම් මැද රුසියානු පාබල හමුදාවන් යුක්‍රේනයේ අගනුවරට අද පස්වරුව වනවිට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  බෙලරුස් සිට රටට ඇතුළු වූ රුසියානු හමුදා කියුව් අගනුවර සමීපයට පැමිණීමත් සමග ගොඩබිම් සටන් ආරම්භ වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

විචාරකයින් අනතුරු අඟවන්නේ, අද දිනය යුද්ධයේ 'අසීරුතම දිනය' වනු ඇති බවය. රුසියානු හමුදා කියුව් අගනුවර වෙත ළඟාවෙත්ම එහි වැසියන් පෝලන්තය වෙත පළායමින් සිටී.  එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ගැටුම්වලින් සිවිල් වැසියන් 127දෙනකු ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇති බවය.

මේ වනවිට සිවිල් වැසියන් ලක්ෂයකට වැඩි පිරිසක් අසල්වැසි රාජ්‍යයන් වෙත පළාගොස් තිබේ.  යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කරන්නේ නේටෝ සංවිධානය ඇතුළු බටහිර රටවල් තමන් තනි කළ බවය.  යුක්‍රේනයට එරෙහිව රුසියාව ඊයේ ආරම්භ කළ යුද්ධය මේ වනවිට ගොඩබිමින්, ගුවනින් හා මුහුදින් ක්‍රියාත්මකය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු හමුදා මේ වනවිට යුක්‍රේනයේ මර්මස්ථාන ඉලක්ක කරමින් දෙවැනි දිනටත් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටින බවය.  රුසියානු හමුදා සෙබළු 800ක් පමණ මියගොස් ඇති බවට යුක්‍රේනය පැවසුවත් රුසියාව මෙතෙක් එය තහවුරු කර නොමැත. 

මේ වනවිට රුසියානු හමුදාවන් උතුරින් බෙලරුස් හරහාත්, නැගෙනහිර ප්‍රදේශයෙන් රුසියාව හරහාත්, දකුණින් ක්‍රිමියාවේ සිටත් යුක්‍රේනයට ඇතුල් වී සිටින බව යුක්‍රේන දේශසීමා ආරක්ෂක සේවය පවසයි. 

ඒ අනුව යුක්‍රේනයේ කියුව් අගනුවර ඇතුළු මරියපූල්, ඔඩේසා, කාර්කිෆ්, ලිවියිව් යන ප්‍රධාන නගර කිහිපයකට රුසියානු හමුදා විසින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ සමග විශාල පිපිරුම් සිදුව ඇති බව ද වාර්තා වෙයි.

රුසියානු හමුදාව පැය 24ක් යාමට පෙර යුක්‍රේනයේ අගනගරය ආක්‍රමණය කිරීම තුළින් රුසියානු යුද ශක්තිය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ. එමෙන්ම කියුව් අගනගරයට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපය ආශ්‍රිත බලය රුසියානු හමුදාව අත්පත් කරගැනීමද ජාත්‍යත්තර මාධ්‍යය තුළ දැඩි අවධානයට ලක්වු තවත් සිදුවීමකි. 

මේ අනුව දැනට ලැබී ඇති තොරතුරු අනුව පෙන්නුම් කෙරෙන්නේ යුක්‍රේනය වෙත රුසියාව සෑම දිශාවකින්ම ප්‍රහාරයන් එල්ලකරමින් සිටින බවය.  යුක්‍රේන අගනගරය වන කියුව් සිට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපය, ඊයේ සවස් කාලයේදී බෙලරුස් හි සිට පැමිණි රුසියානු යුද සේනාංක ආක්‍රමණය කිරීමත් සමග දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් ද හටගෙන තිබුණි. 

සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමට ද හේතුවක් වූ 1986 පුපුරාගිය චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය අවසානයේ රුසියානු හමුදාව අත්පත් කරගත්තේය. ලොව විශාලතම න්‍යෂ්ටික අනතුර ලෙස සැලකුණු, එහි විකිරණ මෙම යුද ගැටුම් මැද යළි සක්‍රිය වුවහොත්, යුරෝපයට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බව යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ උපදේශක ඇන්ටන් ජෙරෂ්චෙන්කෝ අනතුරු අඟවා තිබේ. 

වසර 36ක් තිස්සේ අත්හැර දමා ඇති මෙම නගරයේ න්‍යෂ්ටික විකිරණ අපද්‍රව්‍ය බලාගාර තුළ තැම්පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණේ බලාගාරයේ විකිරණශීලීත්වය ඉහළගොස් ඇති බවය.

එමෙන්ම අද දවස තුළ කියුව් සිය පාලනයට ගැනීමට රුසියාව සියලු යුද උපක්‍රම යොදවමින් සිටින බව පෙන්වාදෙන අමෙරිකානු බුද්ධි අංශ අනාවරණ කළේ, 10,000ක පමණ පැරෂුට් හමුදා භට පිරිසක් යොදවා යුක්‍රේන රජය මුලිනුපුටා දැමීම රුසියාවේ උත්සාහය බවය.

මේ අතර පොළොව මට්ටමට ඉතාමත් ආසන්නයෙන් කියුව් අගනුවරට ඉහළ අහසේ රුසියානු යානා ගමන් කරමින් සිටින ආකාරය ද දක්නට ලැබුණි.  රුසියාව හඳුනාගත් යුක්‍රේන හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකරන බවට පැවසුවත්, සිවිල් වැසියන් වාසය කරන ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ලකරමින් සිටින අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

රුසියානු විශේෂ බලකායේ ග්‍රහණයට නතුවූ කියුව් ගුවන් තොටුපොළ නැවත අත්පත් කරගත් බවද යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, අවුරුදු 18ත් 60ත් අතර යුක්‍රේන පිරිමින්ට රට හැර යාම තහනම් කිරීමට යුක්‍රේන දේශසීමා ආරක්ෂක සේවය පියවර ගෙන තිබේ.

යුක්‍රේන වැසියන් ATM යන්ත්‍ර අසල පොදිකමින් සිටින අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. යුද්ධයට දැනටමත් මැදිව සිටින කාර්කිෆ් සහ නිප්‍රෝ වැනි නගරවල වැසියන්, පළායාමට නොහැකිව භූගත ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින්නේ ඊයේ දිනයේ සිටය.

මේ අතර,යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ උපදේශක Vadym Denysenko පවසන්නේ ,

"සියලු ස්වේච්ඡා සේවකයන්ට, ආයුධ අතැතිව අපගේ අගනුවර ආරක්ෂා කිරීමට කැමති සියලු දෙනාට" මැෂින් තුවක්කු 18,000 ක් ලබා දී ඇති බවයි.

: යුක්රේනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට සටන් වලින් රුසියානු භටයින් 2,800 ක් පමණ මිය ගොස් ඇති බවයි.

02/25/2022 Update 

රුසියානු හමුදා යුක්‍රේනයේ කියෙෆ් අගනුවරට ඇතුළුවෙයි...

යුක්රේනය ආක්‍රමණය කර ඇති රුසියානු හමුදා කියෙෆ් අගනුවරට ඇතුලුවී තිබෙනවා. යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි යුරෝපීය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ රුසියාවට විරෝධය දක්වන ලෙසටයි.

එමෙන්ම රුසියාවේ මෙම ප්‍රහාරය නතර කිරීමට මැදිහත් වන ලෙස යුරෝපා කලාපිය රටවලව් රජයන්ගෙන් ඉල්ලා සිටින ලෙසත් ඔහු ජනතාවට ප්‍රකාශ කර තිබෙනවා.

රට පුරා ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 25 දෙනෙකු මිය ගොස් 102 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් බෙන් වොලස් හෙළිකර ඇත්තේ ගැටුම් හමුවේ රුසියාවට පුද්ගලයින් 450කගේ ජිවිත අහිමි වී ඇති බවයි.

කළු මුහුදේ දූපතක සිටි, දේශසීමා ආරක්ෂකයින් 13 දෙනෙකු රුසියානු යුද නෞකාවකට යටත් වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සමූලඝාතනය කර තිබෙනවා.

02/25/2022 Update 

රුසියාවෙන් තවත් දැඩි තීරණයක්..!

යුක්‍රේන - රුසියා අර්බුදය ලෝක ගුවන් ගමන් සඳහා ද දැඩි බලපෑමක් එල්ල කරමින් තිබේ. ඒ පිළිබඳව ආසන්නතම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය අද (25) වාර්තා කළේය.

එහි සඳහන් වන්නේ රුසියාව විසින් බ්‍රිතාන්‍ය ගුවන්සේවා සඳහා තහනමක් පනවා ඇති බවය. ඒ අනුව රුසියාවේ ගුවන්තොටුපොළවල බ්‍රිතාන්‍ය ගුවන් සමාගම්වල යානා බෑම හා රුසියානු ගුවන් සීමාවට ඇතුළුවීම තහනම් කර තිබේ.    

රුසියාව පැවසුවේ එක්සත් රාජධානියේ ගුවන්සේවා බලධාරීන් ගත් මිත්‍රශීලී නොවන තීරණයක් හේතුවෙන් තමන් එම තීරණය ගත් බවය. රුසියාවේ ජාතික ගුවන්සේවය වන එරෝෆ්ලොට් සමාගමේ ගුවන්යානා බ්‍රිතාන්‍ය යේ ගොඩබෑම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් ඊයේ (24) කටයුතු කළේය.

රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක වලට එම තීරණයද අයත්ය. ලන්ඩනය සහ මොස්කව් අතර British Airways සමාගම සාමාන්‍යයෙන් සතියකට ගුවන්ගමන් 6ක් පමණ ක්‍රියාත්මක කළේය.  Virgin Atlantic සමාගම නිවේදනය කළේ එක්සත් රාජධානියේ සිට පාකිස්තානය සහ ඉන්දියාව වෙත සිය ගුවන් මාර්ගවල යාම යම් වෙනස්කම් සිදුකළ බවය. ඒ හේතුවෙන් ගුවන් ගමන් කාලය වැඩිවිය හැකි බව ඔවුන් පැවසීය.

මේ අතර යුක්‍රේනය සිය ගුවන් සීමාව ඊයේ වසා දැමු අතර මෝල්ඩෝවා රාජ්‍ය ද එවැනිම තීරණයක් ගෙන තිබේ. මේ අතර යුක්‍රේන අගනගරය වන කියුව් සිට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපය, ඊයේ සවස් කාලයේදී බෙලරුස් හි සිට පැමිණි රුසියානු යුද සේනාංක ආක්‍රමණය කිරීමට උත්සාහ කිරීමත් සමග දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් හටගනු ලැබීය.

ප්‍රදේශයේ පැවති දරුණු ගැටුම් මැද යුක්‍රේන පාලනයේ පැවති චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය ඇතුළු ප්‍රදේශයේ බලය අවසානයේ රුසියානු හමුදාව අත්පත් කරගනු ලැබීය.  සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමට ද හේතුවක් වූ චර්නොබාල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යන්නේ 1986 වසරේදීය.

ලොව විශාලතම න්‍යෂ්ටික අනතුර ලෙස සැලකුණු, එහි විකිරණ ධාරා යුක්‍රේනය, බෙලරුස් සහ යුරෝපයේ රටවල් රැසකට බලපෑම් එල්ල කළේය.  වසර ගණනාවක් තිස්සේ අත්හැර දමා ඇති මේ නගරයේ බලාගාර තුළ න්‍යෂ්ටික විකිරණ අපද්‍රව්‍ය ගබඩා කර ඇති අතර ගැටුම් හේතුවෙන් යළි න්‍යෂ්ටික අනතුරු සිදුවේදැයි මේ වන විටත් සැක පළවී තිබේ. 

යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ උපදේශක ඇන්ටන් ජෙරෂ්චෙන්කෝ අනතුරු අඟවන්නේ යම් හෙයකින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කර ඇති පහසුකම් විනාශ වුවහොත් ඉන් පිටවන විකිරණශීලීත්වය යුක්‍රේනය, බෙලරුස් සහ යුරෝපා කලාපයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවය.

02/25/2022 Update 

ඇමරිකාවෙන් රුසියාවට සයිබර් ප්‍රහාරයක්..?

තවත් පැය කිහිපයකින් යුක්‍රේනයේ කියුව් අගනුවර සම්පූර්ණයෙන් රුසියානු හමුදාවට නතු වනු ඇති බව අමෙරිකානු බුද්ධි අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් රුසියානු හමුදා එල්ල කරන දරුණු ප්‍රහාර හමුවේ වූවද යුක්‍රේන හමුදා තවමත් සටන අතහැර නොමැත. කියෙව් නගරයේ මේ වනවිට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කර තිබෙන අතර රුසියානු හමුදා අද උදෑසන සිට නගරයේ ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර යුක්‍රේන හමුදා රුසියානු ප්‍රහාරක යානයක් බිම හෙළා තිබූ බවත් යුක්‍රේන හමුදා එල්ල කළ ප්‍රහාරවලින් විනාශ වූ රුසියානු ප්‍රහාරක යානා සංඛ්‍යාව 7ක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු හමුදා තම ග්‍රහණයට ගෙන තිබූ කියෙව් ගුවන් තොටුපළ නැවත අත්පත් කර ගැනීමටත් යුක්‍රේන හමුදා සමත් වී තිබේ. කෙසේ වෙතත් ප්‍රහාර එල්ල කිරීමට පැමිණි රුසියානු හමුදා සෙබළුන් 50 ක් ඝාතනය කළ බව යුක්‍රේනය ඊයේ ප්‍රකාශ කළද රුසියාව තවමත් සිදුවූ හානිය නිල වශයෙන් පිළිගෙන නොමැත.

දෙවන දිනටත් යුක්‍රේනයේ හඳුනා ගත් ඉලක්ක වෙත රුසියාව ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ගැටුම්වලින් මේ දක්වා යුක්‍රේන සෙබළුන් සහ සිවිල් වැසියන් 137 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

මේ අතර යුද්ධයේදී මියයන සොල්දාදුවන්ගේ මළසිරුරු විනාශ කර දැමීමේ පහසුකම් සහිත ජංගම ආදාහනාගාර නිපදවීමට රුසියාව පියවර ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

ඇතැම් රුසියානු මව්වරුන් පවසා තිබුණේ තම පුතුන් රවටාගෙන පුටින්ගේ හමුදාවට බඳවාගෙන ඇති අතර ඔවුන් පුහුණු අභ්‍යාස සඳහා යුක්‍රේනයට යන බව පැවසූ බවය.

මේ අතර පුද්ගලයින් 14 දෙනෙකු සමඟ යුක්‍රේන හමුදා ගුවන් යානයක් කියෙව් ආසන්න ප්‍රදේශයකදී කඩා වැටී තිබේ. ඊට ප්‍රහාරයක් එල්ල වී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත, මේ අතර තුර්කියට අයත් නෞකාවකට ඊයේ යුක්‍රේනයේ වරාය නගරයක් වන ඔඩෙස්සා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණි.

කෙසේ වෙතත් ඉන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත. මේ අතර රුසියාවේ යුද ශක්තිය අඩපණ කිරීම සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමේ වැදගත්කම අමෙරිකානු ආරක්ෂක අංශ විසින් ජනාධිපති ජෝ බයිඩන්ට යෝජනා කර තිබේ. 

අමෙරිකානු ආරක්ෂක අංශ ප්‍රධානීන් පවසා ඇත්තේ, මෙම සයිබර් ප්‍රහාර එල්ල කිරීම මගින් යුක්රේනයේ සටන්වල නිරත රුසියානු හමුදාවන්ට අතිරේක සෙබළුන් අනියුක්ත කිරීම සහ අතිරේක පහසුකම් සැපයීම් ප්‍රමාද කළ හැකි බවය. 

මීට අමතරව රුසියාවේ දුම්රිය සේවය ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රය, විදුලිබල පද්ධතිය ඉලක්ක කර ගෙන මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීමේ මුලික මර්මස්ථාන ලෙස අමෙරිකානු ආරක්ෂක අංශ පෙන්වා දී තිබේ. 

කෙසේ වෙතත්, මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මෙතෙක් අවසන් නියෝගයක් ලබාදී නැති බව අමෙරිකාවේ NBC පුවත් සේවය වාර්තා කළේය.

මේ අතර අමෙරිකාව විසින් තවත් 7,000ක හමුදා සෙබළුන් පිරිසක් ජර්මනියට යැවීමට පියවර ගෙන ඇති අතර නේටෝ සන්ධානයේ කොටසක් වන එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන පැරණි සෝවියට් සමූහාණ්ඩුව වන බෝල්ටික් කලාපය වෙත අමෙරිකානු හමුදා සාමාජිකයින් 800 දෙනෙකු ගෙන් යුත් පිරිසක් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, තමන් අපේක්ෂා කළ සහාය නේටෝ සංවිධානයෙන් තම රටට ලැබී නැති බවය.  පැරුණි සෝවියට් දේශයට අයත් යුක්‍රේනය, අද යුරෝපා සහ බටහිර රටවලට සමීප වී සිටියත්, මෙතෙක් ඔවුන්ට නේටෝ සාමාජිකත්වය හිමිවී නොමැත. 

යුක්‍රේන ජනාධිපති

"මම යුරෝපා සංවිධානයේ රටවල් 27 ක නායකයින්ගෙන් ඇහුවා යුක්‍රේනයට පුළුවන්ද නේටෝ සංවිධානය තුළ ඉන්න කියලා. මම කෙලින්ම ඇහුවා. හැමෝම බයයි, කවුරුත් උත්තර දෙන්නේ නැහැ. නමුත් අපි බය නැහැ, කිසිම දෙයකට බය නැහැ. අපි අපේ රට ආරක්ෂා කරන්න බය නැහැ. අපි රුසියාවට බයත් නැහැ. අපි මේ මොහොතේ නේටෝ සාමාජිකයන් නොවෙයි. නමුත් අපට ලැබෙන සහතික මොනවා ද? වැදගත්ම දෙය නම් අපට එම සහතික ලබා දෙන්නේ මොන රටවල්ද?"

මේ අතර යුක්‍රේන ජනාධිපති පවසන්නේ රුසියානු ආක්‍රමණයත් සමග රුසියාවේ පළමු ඉලක්කය තමන් බවය.

ඔවුන්ගේ දෙවන ඉලක්කය සිය පවුල බවත් පවතින තත්ත්වය අනුව තමන් සිටින්නේ දැඩි අවදානමක බවත් යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි. 

පවතින තත්ත්වය හමුවේ වයස අවුරුදු 18 ත් 60 ත් අතර සියලුම පිරිමි පුරවැසියන්ට රටින් පිටවීම තහනම් කිරීමට යුක්‍රේන ජනාධිපතිවරයා පියවර ගත්තේය. යුක්‍රේනය තුළ යුද නීතිය බලපැවැත්වෙන දින 90ක කාලය තුළ එය බලපැවැත්වෙනු ඇති.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, මේ වන විටත් යුක්‍රේන වැසියන් ලක්ෂයක් පමණ රටින් පළාගොස් ඇති බවත් තවත් බොහෝ පිරිසක් රටින් පිටවීමට උත්සහ දරමින් සිටින බවය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ගනු ලැබූ තීරණයට ලොව නන් දෙසින් බලපෑම් සහ විරෝධතා එල්ලවී තිබේ.

  ඒ අනුව රුසියාවට එරෙහිව තවදුරටත් දරුණු ආර්ථික සම්බාධක පැනවීමට අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඊයේ පියවර ගත්තේය. මේ අතර ජනාධිපති පුටින්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයේ ඇමතිවරයෙකු වන ජේම්ස් ක්ලේවර්ලි James Cleverly  රුසියානු ජෙනරල්වරුන්ගෙන් ඉල්ලා තිබුණි.

මේ අතර  ජනාධිපති පුටින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණයට එරෙහිව රුසියාව පුරා නගර රැසක දැවැන්ත විරෝධතා ව්‍යාපාර ආරම්භ වී තිබේ.

කෙසේ වුවද එම විරෝධතා ව්‍යාපාරයන්ට එක්වූ දහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් රුසියානු පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර යුක්‍රේන අගනගරය වන කියුව් සිට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපය, ඊයේ සවස් කාලයේදී බෙලරුස් හි සිට පැමිණි රුසියානු යුද සේනාංක ආක්‍රමණය කිරීමට උත්සාහ කිරීමත් සමග දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් හටගනු ලැබීය.

ප්‍රදේශයේ පැවති දරුණු ගැටුම් මැද යුක්‍රේන පාලනයේ පැවති චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය ඇතුළු ප්‍රදේශයේ බලය අවසානයේ රුසියානු හමුදාව අත්පත් කරගනු ලැබීය.  සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමට ද හේතුවක් වූ චර්නොබාල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යන්නේ 1986 වසරේදීය.

ලොව විශාලතම න්‍යෂ්ටික අනතුර ලෙස සැලකුණු, එහි විකිරණ ධාරා යුක්‍රේනය, බෙලරුස් සහ යුරෝපයේ රටවල් රැසකට බලපෑම් එල්ල කළේය.  වසර ගණනාවක් තිස්සේ අත්හැර දමා ඇති මේ නගරයේ බලාගාර තුළ න්‍යෂ්ටික විකිරණ අපද්‍රව්‍ය ගබඩා කර ඇති අතර ගැටුම් හේතුවෙන් යළි න්‍යෂ්ටික අනතුරු සිදුවේදැයි මේ වන විටත් සැක පළවී තිබේ. 

යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ උපදේශක ඇන්ටන් ජෙරෂ්චෙන්කෝ අනතුරු අඟවන්නේ යම් හෙයකින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කර ඇති පහසුකම් විනාශ වුවහොත් ඉන් පිටවන විකිරණශීලීත්වය යුක්‍රේනය, බෙලරුස් සහ යුරෝපා කලාපයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවය. 

02/25/2022 Update 

යුක්රේන් - රුසියා ගැටුම ගැන ලංකාවෙන් නිවේදනයක්..!

යුක්‍රේනයේ මෑතකාලීනව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළයාම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්වී සිටින බව විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි.

"කලාපයේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් යුතුව ක්‍රියා කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී,"

යනුවෙන් එම නිවේදනයේ දැක්වෙයි. රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් සහ අවංක සංවාදය තුළින් මෙම අර්බුදය විසඳාගැනීම පිණිස අදාළ සියලු පාර්ශ්වවල සාමූහික උත්සාහයක අවශ්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකාව අවධාරණය කර තිබේ.  

02/25/2022 Update 

යුක්‍රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත් ප්‍රතිපත්තිය කුමක් විය හැකි ද ?

රුසියානු ආක්‍රමණයකට ලක්ව ඇති යුක්රේනයේ තත්ත්වය පිලිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් සිටින අතර, එහිදී නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව විදේශ කටයුතු ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ යුද්ධය ගැටලු විසඳීමේ මාර්ගයක් ලෙස අනුමත කළ නොහැකි බවයි.

කෙසේ නමුත්, මෙහිදී නේටෝ සංවිධානයේ ව්‍යාප්තිය තුලින් රුසියාව අනාරක්ෂිත වීමේ ගැටලුව ද සැලකිල්ලට ගත යුතු බව ඔහු සඳහන් කළා.

යුක්රේනයේ බෙදුම්වාදී ඩාන්යෙක් සහ ලුහාන්ස්ක් ප්‍රාන්ත රුසියාව විසින් වෙනම රාජ්‍යයන් ලෙස පිලිගැනීම ලක් රජය අනුමත කරන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ කියා සිටියේ ඓතිහාසික හෝ දේශපාලනමය වශයෙන් යුක්රේනයේ තත්ත්වය ශ්‍රී ලංකාවට සම කළ නොහැකි බවයි.



02/25/2022 Updated

රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේනයේ 137ක් මරුට - දෙරටේ බිහිසුණු යුද්ධයේ භීතිකාව

රුසියානු හමුදාව විසින් එල්ලකළ ප්‍රහාරවලින් යුක්‍රේන පුද්ගයින් 137 දෙනෙකු මියගොස් ඇති බව එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

මියගොස් ඇති පිරිස අතර හමුදා භටයන් මෙන්ම සිවිල් වැසියන් ද සිටින බව වාර්තා වෙයි.

මේ අතර එරට ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරවලින් හමුදා මේ වනවිට යුක්‍රේන හමුදා භටයින් 316ක් තුවාල ලබා ඇති බවය. 

 


02/24/2022 Updated

ලෝකයේම අවධානය යොමුවූ වරාය නගරයක පිපිරීමක්..වහාම හදිසි තත්ත්වයක් දැනුම් දෙයි..

යුක්රේනයේ මරියුපොල් වරාය නගරයේ යම්කිසි පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

අද (24) අලුයම 3.30ට පමණ රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි වරාය නගරයේ මෙම පිපිරීම් හඬවල් ඇසුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්‍රේනයේ මේ වනවිට හදිසි නීතිය ද ක්‍රියාත්මකයි. මේ අතර, යුක්‍රේනය විසින් එරට තුළ මේ වනවිට හදිසි තත්ත්වයක් පනවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉදිරි දින 30ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (24) රැස්වූ යුක්රේන ආරක්ෂක කවුන්සිලය විසින් සිය අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව යුක්‍රේනයට මේ මොහොත වනවිට දී රුසියානු හමුදා තර්ජනය දැඩි ලෙස දැනෙමින් අවදානම් මට්ටමක පවතිනවා. මේ වනවිට යුක්‍රේනය නිවේදනය කර ඇත්තේ, රුසියාවේ ජීවත් වන යුක්‍රේන සම්භවයක් සහිත පුරවැසියන්ට වහාම ඉවත් වීමට කටයුතු කරන ලෙසටයි.

ඒ බව යුක්‍රේනයේ 'කිව්' (kyiv) තානාපති කාර්යාලය මගිනුයි නිවේදනය කෙරුණේ. මෙවන් තත්ත්වයක් මත ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ, සුළු මොහොතක් තුළ දී රුසියාව විසින් පූර්ණ වශයෙන් මහා පරිමාණ යුද ආක්‍රමණයක් යුක්‍රේනය තුළ සිදු කිරීමට මේ වනවිටත් පිඹුරුපත් සකසා අවසන් බවයි.

මේ හේතුවෙන් ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් යුක්‍රේන රජයට රුසියානු ආක්‍රමණයක් ගැන අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබෙනවා. රුසියානු හමුදා නැගෙනහිර යුක්‍රේනයේ මොස්කව් හිතවාදී කලාපයට ඇතුල් වී ඇති අතර, ඔවුන් තවදුරටත් ඉදිරියට යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



02/24/2022 Updated 

රුසියාවට යුක්‍රේන් ජනපතිගෙන් රතු එළියක්...ලෝක යුද්ධයකට සැරසෙයි.

රුසියානු - යුක්‍රේන් අර්බුදය හමුවේ යුක්‍රේන් ජනපතිවරයා සදහන් කලේ රුසියාව සිය රටට ප්‍රහාරයක් එල්ල කලහොත් තමන්ද ඊට ප්‍රතිචාර දක්වන බවයි .

ඔහු කියා සිටියේ මෙය ලෝක යුද්ධයේ මුල බවයි. මේ වන විට යුක්‍රේන් දේශසිමාව ආසන්නයේ ලක්ෂ දෙකක රුසියන් බට පිරිසක් සහ යුධ උපකරණ ස්ථාන ගත කර ඇති බවට යුක්‍රේන් ජනපතිවරයා චෝදනා කරනවා.

එමෙන්ම එංගලන්තය හා ඇමරිකාව යුධමය වශයෙන් යුක්‍රේන සහය පල කිරිමට දැනටමත් තීරණය කර තිබෙනවා. පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා ජගත් ආරක්ෂක මණ්ඩලය ඊයේ (23) රැස් වුණා. එහිදි එක්සත් ජාතින්ගේ සංව්ධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ඉල්ලාසිටියේ සටන් විරාමයකට ගමන් කරන බවයි.



02/24/2022 Updated

රුසියාව යුද්ධය ප්‍රකාශ කරයි..නියෝගයෙන් පසු යුක්‍රේනයට මිසයිල වරුසාවක්..ඇමරිකාවත් පැටලෙයි!! 

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.

රුසියානු ජනාධිපතිවරයා එරට වේලාවෙන් උදෑසන 5.05 ට ජාතිය අමතමින් කියා සිටියේ යුක්රේනයේ ඩොන්බාස් කලාපය තුල විශේෂ මෙහෙයුම් දියත් කිරිමට තමන් හමුදාවන්ට නියෝග නිකුත් කළ බවයි.

තමන්ට අවශ්‍ය භුමිය අත්පත්කර ගැනීමක් නොව එහි සිටින සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරිම පමණක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

"අවි බිම තබා ගෙදර යන්න" යැයි මෙහිදී රුසියානු ජනාධිපතිවරයා විසින් යුක්රේන හමුදා සාමාජිකයින්ට සිය කතාවේදී දැනුම් දී සිටියා. එමෙන්ම තමන්ට එරෙහිව නැගී සිටින ඕනෑම රටකට දැඩි විපාක අත්විදිමට සිදුවෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. රුසියානු ජනාධිපතිවරයා ජාතිය අමතා සුළු මොහොතකින් Kiev, Mariupol, Kharkiv සහ Odessa යන ප්‍රදේශවල ප්‍රබල පිපිරීම් රැසක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදී යුක්රේන පාර්ලිමේන්තුව විසින් මසක කාලයක් සඳහා එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ලක්ෂ 02 කට ආසන්න හදිසි හමුදාවක් කැඳවනු ලැබුවා. මිට අමතරව සියලුම යුක්රේනුවන්ට අවි දැරීමේ අවසරය ද ඊයේ දිනයේදී නිකුත් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්රේන ජනාධිපති Volodymyr Zelensky රුසියානු ජනපතිගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කියා සිටියේ රුසියාවේ ආක්‍රමණයට එරෙහිව සිය ජනතාව සටන් වැදෙනු ඇති බවයි.

" ඔබලා පැමිණි විට අපගේ පිටුපස නොව මුහුණට මුහුණ දැකීමට හැකිවෙනු ඇති" යැයි යුක්රේන ජනපති සඳහන් කර සිටිනවා. මේ අතර රුසියාවේ යුදමය තීරණය ගැන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අදහස් දක්වමින් කියා සිටියේ තමන් එය දැඩි සේ හෙළා දකින බවයි.

" ජනාධිපති පුටින් සැලසුම් සහගත ලෙස යුද්ධයක් තෝරා ගෙන ඇත. එය මහත් ව්‍යවසනයක් ගෙන දෙනවා පමණක් නොව ජිවිත හානි රැසක් සිදුවෙනු ඇති. මෙමගින් ඇතිවෙන සියලුම ජිවිත හානි සඳහා රුසියාව පමණක් වගකිව යුතුයි" අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මේ අතර රුසියාව විසින් යුක්රේනයේ හඳුනා ගත් හමුදා සහ හමුදා සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් කෘස් මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

යුක්රේනයේ Kyiv පළාත තුල පිහිටි යුක්රේන හමුදා කඳවුරු කිහිපයකටම රුසියාව විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ සිය හමුදා යුක්රේනයේ හමුදා ඉලක්‌ක වලට පමණක් ප්‍රහාර එල්ල කරනු ලබන බවයි.

මේ අතර බෙලරුස් හි ස්ථාන ගත කර සිටින රුසියානු හමුදා භට පිරිස් මේ වන විට යුක්රේනයේ උතුරු දෙසින් ඉදිරියට ඇදෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර රුසියාව විසින් යුක්රේනයේ නැගෙනහිරින් පිහිටි නගර කිහිපයක වූ ගුවන් තොටුපොළවල් ආසන්නයට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවද එරට බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. මේ අතර රුසියානු ගුවන් යානා ද යුක්රේන මෙහෙයුම් සඳහා යොදා ගැනෙන බවට වාර්තා ලැබී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.



02/24/2022 Updated

රුසියාව - යුක්‍රේනය යුධ ගිනි ඇවිලෙයි.... මේ තුන්වන ලෝක යුද්ධයද ...? (VIDEO)

මේ වනවිට රුසියාව - යුක්‍රේනය ආක්‍රමණය කරමින් පහරදීම ආරම්භ කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය, රුසියානු හමුදා විසින් පහර දෙන ඉලක්ක ප‍්‍රකාශයට පත් කර ඇති අතර යුක්රේන හමුදා කඳවුරු, මිසයිල ආරක්ෂණ පද්ධති, ගුවන් හමුදා කඳවුරවලට රුසියානු හමුදාවේ ඉලක්කය නොවරදින ආයුද මගින් පහර දී ඇති බවයි. යුක්‍රේන හමුදාවන්ට අවි බිම තබන ලෙසත් රුසියාවේ යුද මෙහෙයුම්වලට බාධා කරන්නන් හට රුසියාව විසින් ක්ෂණිකව පිළිතුරු දෙනු ඇති බවත් ජනාධිපති පුටින් කියා තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට යුක්‍රේනයේ නැගෙනහිර වාය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවල‍ෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු ගෙන්වන්න එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටී.

“මෙම සියවසේ දරුණුතම යුද්ධය යුරෝපයේ පටන් ගන්න දෙන්න එපා මෙය බලපාන්නේ යුක්රේනයට පමණක් නොවෙයි මෙය මුළු යුරෝපයටම බලපාන කාරණයක් ඒ නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු කැඳවන්න” යැයි එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් පවසයි.

මේ අතර රුසියාවේ සිටින සියලුම යුක්‍රේන ජාතිකයනට රුසියාවෙන් ඉවත්වන්නැයි යුක්රේන විදේශ අමාත්‍යංශය දැනුම් දීමක් කර ඇත.

යුක්රේන විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ”යුක්‍රේන ජාතිකයන් හේතුව කුමක් වුවත් රුසියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසත් රුසියාවේ සිටින යුක්රේන පුරවැසියන් වහාම රුසියාවෙන් ඉවත් වන ලෙසත්ය” එමෙන්ම යුක්රේන ආරක්ෂක කවුන්සිලය යුක්රේනය තුල හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමට තීරණය කර ඇත .

විඩියෝ දර්ශන - News 1st




02/24/2022 Updated

ලෝක යුද්ධය ආරම්භ වෙයි...ඉතාම දරුණු තත්වයක්.. යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට අවස්ථාවක්.. 

යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් ආරක්ශිතව ගෙන්වා ගැනීමේ සම්බන්ධීකරණය සිදු කර ගැනීම සදහා තුර්කියේ අන්කාර තානාපති කාර්යාලයෙන් තොරතුරු ලබා ගත හැක.

ඒ අනුව එම තොරතුරු +90-534-456-9498 +90-312-427-1032 රුසියාව යුක්රේනයට එරෙහි යුද්ධය තීව්‍ර කළ පළමු දිනය අද සනිටුහන් කරන අතර, දෙපාර්ශවයටම බරපතල හානි සිදු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි .

රුසියානු හමුදා යුක්රේනයේ කියෙව් අගනුවරට පහර දෙති. කෙසේ වෙතත්, යුක්රේන හමුදා සමඟ එක්සත් ජනපදයේ පිටුබලය ලබන කැරලිකරුවන්ගේ ප්‍රහාරයෙන් රුසියාවට විශාල හානියක් සිදුවී ඇති බව වාර්තා වේ.

කියෙව් අගනුවර ඇතැම් ප්‍රදේශ රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇතත් යුක්රේන හමුදා යළි බලය ලබාගෙන ඇත. යුක්රේන හමුදා දැඩි හමුදා මෙහෙයුම් අතරතුර රුසියානු හමුදා පණපිටින් අල්ලා ගනී. ⁇

මේ අතර යුක්රේනය පවසන්නේ රුසියානු ගුවන් යානා අටක් විනාශ කර ඇති අතර ප්‍රතිප්‍රහාරවලින් සොල්දාදුවන් 100 කට වැඩි පිරිසක් මිය ගිය බවයි. මේ අතර රුසියානු හමුදා විසින් එල්ල කරන ලද ප් රහාරයකින් යුක්රේන සොල්දාදුවන් 50 දෙනෙකු මිය ගොස් සිවිල් වැසියන් 10 දෙනෙකු මිය ගිය බව යුක්රේන රජය තහවුරු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha