පාපැදියෙන් දියලුම ඇල්ල බලන්න ගිය පෝලන්ත තරුණියට හදි කරලා ! අමන ක්‍රියා නිසා ඉදිරියේ දී සංචාරකයින් ලංකාවට එයි ද ?

police sri lanka Sexual harassment gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 15, 2022 02:03 AM GMT
krishani

krishani

Report

දියලුම දිය ඇල්ල නරඹා නැවත නවාතැන්ගෙන සිටි හෝටලයට එමින් සිටි පෝලන්ත ජාතික විසිහත් හැවිරිදි තරුණියකට ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු ඇය ගමන්ගත් යතුරුපැදිය හරස් කර නවතා ලිංගික අතවර සිදුකර ඇතැයි ඇල්ල පොලිසිය පවසනවා.

පෝලන්ත ජාතික විසිහත් හැවිරිදි මෙම තරුණිය ඉකුත් 07දා සංචාරයකට මෙරටට පැමිණ මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසු ඉකුත් 09දා ඇල්ල ප්‍රදේශයට පැමිණ තිබේ.

පසුව මෙම තරුණිය ඉකුත් 12දා ඇල්ල නගරයෙන් කුලී පදනම මත ලබාගත් යතුරුපැදියකින් කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටි දියලුම දියඇල්ල නැරඹීමට ගොස් ඇත.

එය නැරඹීමෙන් පසු මෙම පෝලන්ත ජාතික තරුණිය නැවත ඇල්ල ප්‍රදේශයේ ඇය ලැගුම්ගෙන සිටි හෝටලයට පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේදී ඇය ගමන්ගත් යතුරුපැදිය ඉස්සර කර එය හරස් කර නවතා ඔහුගේ නිවෙසට යෑමට කතා කර ඇතැයි පොලිසිය පැවැසීය.

එහිදී තරුණිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පසු ඇගේ රූපය වර්ණනා කරමින් ඡායාරූපයක් ලබාගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇති අතර එම ඉල්ලීමද ඇය ප්‍රතික්ෂේප කළ පසු එම පුද්ගලයා තමන්ට ලිංගික අතවර කළ බව මෙම තරුණිය පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

පසුව මෙම පුද්ගලයා තරුණිය ගමන් ගත් යතුරුපැදියේ යතුර බලහත්කාරයෙන් ලබාගත් පසු ඇය එම පුද්ගලයාගේ අත තිබූ යතුරුපැදියේ යතුර උදුරාගෙන පැමිණ මේ පිළිබඳව ඇල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.

ඇල්ල _ වැල්ලවාය මාර්ගයේ ඇති ආරක්ෂිත කැමරාවල මෙම පුද්ගලයා පැමිණි යතුරුපැදිය සටහන්ව ඇත්දැයි සොයා බලා මීට සම්බන්ධ සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පැවැසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now