ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විශේෂ ගිවිසුමක් අත්සන් තබයි..! සියලු විස්තර මෙතනින්...

Ranil Wickremesinghe Sri Lanka India
By Sewvandhi Jan 20, 2023 10:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට එකඟතාව පළවී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ‍විදේශ අමාත්‍යවරයා අතර හමුව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණි.

සාකච්ඡා වලින් අනතුරුව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවති හමුවේ දී ගිවිසුමකට අත්සන් තැබුණු අතර ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද සිදු විය.

ඉන්දීය රජයේ සහාය මත මෙරට ක්‍රියාත්මක ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවල (HICDP- High Impact Community Development Project ) සීමාවන් ඉහළ නැංවීමට අදාළ ද්වීපාර්ශ්වීය ගිවිසුමට මෙහිදී අත්සන් තැබිණි.

ශ්‍රී ලංකා පාර්ශ්වය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර ඉන්දීය පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊට අත්සන් තැබීය.

ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති රැසකට මඟ පෙන්වනු ලබන මෙම ගිවිසුමට 2005 වසරේ මැයි මාසයේදී අත්සන් තැබිණි. එහි තනි පුද්ගල ව්‍යාපෘති සීමාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් වූ අතර එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක් දක්වා දෙගුණ කිරීම අද අත්සන් තැබූ ගිවිසුම මගින් සිදු කෙරේ.

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2017 වස‍රේ ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේ දී ඉන්දීය රජය සහ ජනතාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ත්‍යාගයක් ලෙස උඩරට නැටුම් සඳහා ඇකඩමියක් ඉදිකිරීමට මුල්ගල් තැබුණි.

මහනුවර ඓතිහාසික දළදා මාළිගාව අසල ඉදිකෙරුණු එම ඇකඩමිය මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතින් සිදු විය.

ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය යටතේ වැඩ නිම කෙරුණු නිවාස 300ක් (ගාල්ල, මහනුවර, නුවරඑළිය – නිවාස 100 බැගින්) භාරදීම ද මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු කරනු ලැබීය. නිවාස 60,000ක මෙම ව්‍යාපෘතියට අදාළ නිවාස 50,000ක ඉදිකිරීම් අවසන් කර තිබේ.

වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ යට‍තේ ඉදිකෙරුණු නිවාස 3,300කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් ප්‍රතිලාභීන් වෙත ලබාදී අවසන්ය.

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක “ආදර්ශ ගම්මාන නිවාස වැඩසටහන” යටතේ අනුරාධපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඉදිකෙරුණු නිවාස ද ප්‍රතිලාභීන් වෙත ලබාදීම සංකේතවත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ඉන්දීය රජයේ විශේෂ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක්වී තිබේ.

ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් ...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery