ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින් ගැන විශේෂ තීරණයක්

Sri Lanka Israel Palestine
By Sewvandhi Oct 10, 2023 08:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ, ගාසා තීරයේ හටගෙන ඇති ගැටුම් හේතුවෙන් දැනට ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් මතු වී නොමැති බවයි.

ඊශ්‍රායලයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් මේ දක්වාත් එලෙස ඉල්ලීමක් හෝ ඉදිරිපත් වී නොමැති බවයි, එම කාර්යාංශය සඳහන් කළේ.

කෙසේවෙතත් කිසියම් පුද්ගලයෙකුට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් ඊට අවශ්‍ය පහසුකම් සලසා දීමට සූදානම් බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

මේ අතර ඊශ්‍රායලයේ රැඳී සිට අතුරුදන් වූ බවට පැවසෙන ශ්‍රී ලාංකික කාන්තාව මියගිය බවට සමාජ මාධ්‍ය තුළ පළවන තොරතුරු සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා,

"ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබුණා විදේශ කටයුතු අමාත්‍යාංශයට අවශ්‍ය පියවර ගන්න කියලා, ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා ඊශ්‍රායලයේ සිටින. ඒමට අදහස් කරන පිරිසක් සම්බන්ධයෙන් කරුණු වාර්තා වෙලා නෑ. කෙසේ නමුත් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් තවදුරටත් වාණිජ ගුවන් ගමන් ක්‍රියාත්මක වෙනවා.

ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වරින් වර තානාපති කාර්යාලය සමග තොරතුරු හුවමාරු කරනවා. ඔබ බය වෙන්න එපා. හැමවේලේම ඔබ විශ්වාස කරන්න තානාපති කාර්යාලය සහ වගකිව යුතු මාධ්‍යවලින් ලබාදෙන තොරතුරු ගැන. ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් අතුරුදන් බවට ඊයේ වාර්තා වුණා. ඒ වගේම ඊයේ හවස් වෙද්දි අපි දැක්කා එක් කාන්තාවක් මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් කළා.

යම් අයෙක් මියගිය බවට තහවුරු කරගන්න ක්‍රමවේදයක් තියෙනවා.තානාපති නිලධාරීන්ට අවශ්‍යයි ඒ මෘතදේහය බලලා සිදුකරන්න. දැනට ගාසා තීරය ප්‍රදේශයට පවතින යුද ගැටුම් හේතුවෙන් තානාපති නිලධාරීන්ට ඒ ප්‍රදේශවලට ළඟාවෙන්න බෑ. අවස්ථාව ලද සැනින් එම ප්‍රදේශයට ගිහින් තමා මේ තහවුරු කිරීම කරන්න වෙන්නේ. එතෙක් මේ ශ්‍රී ලාංකිකයා අතුරුදන් වූ අයෙක් ලෙසට සලකනවා."

ReeCha