මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්
ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ ඩිජිටල් සේවාවලට පහසුකම් සපයන ‘ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් සේවාවේ’ ඇතිවූ බිඳවැටීමෙන් කිසිදු දත්ත හානියක් හෝ ආරක්ෂක ක්‍රමවේදවලට බලපෑමක් නොවන බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය තහවුරු කර ඇත.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් මෙම බිඳවැටීම මගින් ජනතාවට ඇතිවන අපහසුතා අවම කිරීමට විකල්ප ක්‍රම හඳුන්වාදී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව මෙරට රාජ්‍ය ඩිජිටල් සේවා රැසකට පහසුකම් සපයන්නේ ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් සේවාවෙන්.
මෙය තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයෙන් පාලනය වේ.
ඒ අනුව එම පද්ධතිය මේ වන විට දින 14කට අධික කාලයක සිට බිඳ වැටී ඇති බව වාර්තා වේ. එසේම මේ සමඟ රජයේ වෙබ් අඩවි 40කට අධික සංඛ්‍යාවක් ද අක්‍රිය වී ඇති තිබෙනවා.
මේ නිසා රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත (ඔන්ලයින්) සේවාවන්වලට ද මෙමගින් බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.
ඒ අනුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය දැක්වූයේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය, වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ගත පද්ධතිය ද ඒ අතර වන බවයි.
එමෙන්ම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ පළාත් පාලන පද්ධතිය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු තවත් ආයතන කිහිපයක් ද වෙබ් අඩවි ද ඊට අයත් වන බවට වාර්තා වේ.
ඒ අනුව බස්නාහිර පළාත හැර, ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් ආදායම් බලපත්‍ර පද්ධතිය අක්‍රිය වී ඇති බවට තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පැවසුව ද බස්නාහිර පළත තුළත් එම වෙබ් අඩවිය අක්‍රියවී ඇති බවට පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.
එමෙන්ම එම සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම ඇති තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) වෙබ් පිටුවද අක්‍රිය වී ඇත. එබැවින් මෙරට රාජ්‍ය ආයතන වෙපිටුවල දිගුව වන gov.lk සහිත වෙබ් ලිපිනයන් වෙත පිවිසීමේදී අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් වේ.
එහි ‘ප්‍රහාරකයින් ඔබගේ තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කරනවා විය හැකියි’ යනුවෙන් දැක්වේ.
මේ අතර රාජ්‍ය සේවයේ ඩිජිටල් සේවාවන් බිඳවැටීම පිළිබඳ අදහස් දක්වන තොරතුරු තාක්ෂණ පර්යේෂක ආචාර්ය සංජන හත්තොටුව සඳහන් කළේ,
“දැන් අපි දන්නේ නැ කවදද මේක ආයෙමත් එන්නේ? මොනාද වෙලා තියෙන්නේ කියලවත්. ඒ කියන්නේ වගකීමෙන් කවුරුවත් කියලා නෑ මොනවද වෙලා තියෙන්නේ කියලා. අපි දැනගත්ත විදිහට යම්කිසි විදිහකට ICTA එක LGC එක සංක්‍රමණය කරන කාල වකවානුවක මාස ගාණක් තිස්සේ ඩේටා ක්ලවුඩ් කොන්ත්‍රාත්තු කළමනාකරණය කරලා නැති හින්දා තමයි මේ උපකල්පනය කරන්න පුළුවන් මේක වෙලා තියෙනවා කියලා. ලංකාව 2025 තියෙන මූලික සාකච්ඡාවක් තමයි මේ ඩිජිටල්කරණය. ඩිජිටල්කරණයේ පදනමක් තමයි මහජන විශ්වාසය. එතකොට මේ වගේ දෙයක් පළවෙනි වතාවට නෙමෙයි වෙලා තියෙන්නේ. 2021 වුණා, 2023 වුණා, දැන් වෙලා තියෙනවා. කිසිම වගවීමක් නැහැ. කවුරුවත් කියන්න නෑ මොකද මේකට වුණේ කියලා. එතකොට ඩිජිටල්කරණය කියලා අපිට නුදුරු අනාගතයේ යම් යම් දේවල්, හොඳ දේවල් වෙනවා කියලා ඉදිරිපත් කිරීමක් කෙරුවත් ආණ්ඩුවෙන්, යථාර්ථය තමයි අද මේ ඩිජිටල්කරණය ගැන ජනතාවට තියෙන විශ්වාසය අඩපණ වෙලා තියෙනවා. සරල ප්‍රශ්නවලට උත්තර නැහැ. දස දහස් ගණනක්, සුමානයක් තිස්සේ අසරණ වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන් අර අනූගණන්වල කළා වගේ පත්තර ෆෝම්ස් තමයි පුරවන්න සිද්ධ වෙලා තියෙන්නේ. LGC අඩපණ වුණාට පස්සේ මේ වෙබ්සයිට්වල තියෙන දත්ත ටික සුරක්ෂිත වෙලා තියෙනවා කියලා ICTA නිවේදනය කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ පොරොන්දු කඩවුණාට පස්සේ ඒගොල්ලන්ම කියනවා මේ දත්ත සුරක්ෂිතයි කියලා. ඉතින් ඒක ඇත්තට මම හිතන්නේ නෑ මනා රාමුවක් කියලා මේ ඩිජිටල්කරණය කරගෙන යන්න. ඉතින් අපිට ඊට වඩා සෘජුව වගවීමකින් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මින් ඉදිරියට මේ වගේ දෙයක් නොවෙන්න නම් මොනාද අරන් තියෙන ක්‍රියාමාර්ග කියලා.”
කෙසේ වෙතත් මෙය වහාම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද එම ICTA ආයතනය සඳහන් කරයි.
මේ වන විට ජනතාවට ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වාදී ඇති අතර රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ සහතික පිටපත් හෝ මුල් සහතිකපත් නිකුත් කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගැනීමේ හැකියාව තිබෙන බවයි.
එසේම වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දත්ත පද්ධතිය අක්‍රිය වී ඇති හෙයින් පද්ධතිය යළි සකස් කරන තුරු බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙකුත් පළාත්වල වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහනය අවස්ථානෝචිතව රියැදුරන් වෙත ලබාදීමට පොලිසිය පියවර ගෙන ඇත.