ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ට සුභ ආරංචියක් - ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හා එක්වෙන්න අවස්ථාවක්
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තර සහයෝගිතාව පුළුල් කිරීම සහ ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක් අත්කර ගැනීමේ අරමුණින් මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තරකරණය කිරීම සහ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා විදේශීය විශ්වවිද්‍යාල සමඟ සබඳතා ඇති කර ගැනීම අත්‍යවශ්‍ය බව හඳුනාගෙන මෙම පියවර ගත්තා.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලය සහ ඉන්දියාවේ මනිපාල් උසස් අධ්‍යාපන ඇකඩමිය අතර අධ්‍යාපනික සහයෝගිතාව වර්ධනය කිරීම, ප්‍රකාශන හා අධ්‍යයන තොරතුරු හුවමාරු කර ගැනීම, අධ්‍යයන කාර්ය මණ්ඩලය, පර්යේෂණ විද්වතුන් සහ සිසුන් හුවමාරු කර ගැනීම මෙන්ම තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිතයි.
එසේම, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ තායිලන්තයේ මහ මකුට් බෞද්ධ විශ්වවිද්‍යාලය අතර ශාස්ත්‍රීය හා පර්යේෂණ සහයෝගිතාව සඳහා ද අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලය, චීනයේ Xi’an Jiaotong-Liverpool විශ්වවිද්‍යාලය සහ ස්පාඤ්ඤයේ බාසිලෝනාහි Universitat La Salle අතර පර්යේෂණ සහයෝගිතාව වෙනුවෙන් ද අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට නියමිතව ඇත.
තවද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ රාජකීය මෙල්බර්න් තාක්ෂණ ආයතනය (RMIT University) අතර සහයෝගිතා පර්යේෂණ පුහුණු වැඩසටහන් පැවැත්වීම, ප්‍රකාශන ඉදිරිපත් කිරීම සහ අදාළ සහයෝගිතා ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිතයි.
එමෙන්ම, එම අවබෝධතා ගිවිසුම යටතේ සහයෝගිතා පර්යේෂණ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ පශ්චාත් උපාධි අධ්‍යයන වැඩසටහන් ප්රදානය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගිවිසුමකට ද එළඹීමට නියමිතයි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කළේය.