කිරිඳිඔය සහ වලවේ ගංගා ද්‍රෝණිවල ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ - පහත්බිම් වැසියන්ට අනතුරු ඇඟවීම්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කිරිඳිඔය සහ වලවේ ගංගා ද්‍රෝණිවල ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින්, එම ජලාශවල වාන් දොරටු විවෘත කර අතිරික්ත ජලය මුදා හරිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අදාළ ගංගා සහ ඔය ආශ්රිත පහත් බිම්වල පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග අධ්යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා ඉල්ලා සිටී.
කිරිඳිඔය ගංගා ද්‍රෝණියේ පිහිටි ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 4 බැගින් සහ වාන් දොරටු හතරක් අඟල් 6 බැගින් විවෘත කර ඇති අතර, මේ හරහා තත්පරයට ඝන අඩි 3,000 කට ආසන්න ජල ප්‍රමාණයක් කිරිඳිඔය වෙත මුදා හැරේ.
එම ගංගා ද්‍රෝණියේම පිහිටි අලිකොට ආර ජලාශයේ ද වාන් දොරටු විවෘත කර ඇති බැවින් එම අමතර ජලය ද මේ වන විට කිරිඳිඔය වෙත එකතු වෙමින් පවතී. මීට අමතරව මව් ආර ජලාශයේ ද වාන් දොරටු විවෘත කර ඇති අතර, ඒ හරහා තත්පරයට ඝන අඩි 1,500 කට අධික ජල ප්‍රමාණයක් මව් ආර වෙත මුදා හැරෙමින් පවතින බව වාර්තා වේ.
මෙම ජලාශවලින් මුදා හැරෙන ජලයත් සමඟ කිරිඳිඔය සහ වලවේ ගංගා ද්‍රෝණිවලට පහළ ප්‍රදේශවල ජල මට්ටම්වල ක්ෂණික වෙනස්කම් සිදුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එබැවින්, වාන් දමන ජලාශවල පහළ ප්‍රදේශවල සහ ගංගා ආසන්නව පදිංචි ජනතාව ගංගාවල ජල මට්ටම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආපදා කළමනාකරණ අංශ මඟින් නිකුත් කරනු ලබන නිවේදන සහ උපදෙස් අනුව කටයුතු කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් තරයේ ඉල්ලා සිටී.