2027 අයවැය යෝජනාවලිය ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අද පස්වරු 1.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහිදී ජනාධිපතිවරයා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතය.
මෙම විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීම පසුගිය ඔක්තෝබර් 07 වන දින කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය හෙට (13) සිට නොවැම්බර් 20 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 20 වන දින පස්වරු 6.00 ට සිදුකිරීමට නියමිතය.
අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 21 වන දින සිට දෙසැම්බර් 14 වන දින දක්වා දින 19ක් පුරා පැවැත්වෙන අතර, තෙවන වර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වන දින පස්වරු 6.00 ට පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ අතර, මේ වසරේ පළමු මාස 9 තුළ රජයේ ආදායම් සහ ප්‍රදාන සියයට 20කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 2025 වසරේ පළමු මාස 9 තුළ රුපියල් බිලියන 441.4ක අයවැය හිඟයක් පැවති නමුත්, මේ වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 22.3ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.
රාජ්‍ය මූල්‍ය කාර්ය සාධන වාර්තාවට අනුව, මේ වසරේ මුල් මාස 9 තුළ සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,594.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම කාලය තුළ බදු ආදායම සියයට 19කින් වර්ධනය වී ඇති අතර බදු නොවන ආදායම සියයට 30කින් ඉහළ ගොස් ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.