ඉරාන යුද්ධයෙන් බිඳවැටුණු ගෝලීය තෙල් සැපයුම යළි යථා තත්ත්වයට
ඉරාන යුද්ධය හේතුවෙන් දැඩි ලෙස බිඳවැටුණු ගෝලීය තෙල් සැපයුම මේ වන විට යළි යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ඔපෙක් පවසයි.
එම සංවිධානය ඊයේ (11) නිකුත් කළ නවතම මාසික වාර්තාවට අනුව, ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය බොරතෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 10.563ක් දක්වා ඉහළ නංවා තිබේ.
එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව දිනකට බැරල් මිලියන දෙකකට අධික වර්ධනයක් වන අතර, පසුගිය පෙබරවාරි මාසයේ ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය යුද ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම නිෂ්පාදන මට්ටම ද වේ.
යුද්ධයට පෙර පෙබරවාරි මාසයේදී සෞදි අරාබිය දිනකට බොරතෙල් බැරල් මිලියන 10.882ක් නිෂ්පාදනය කර තිබුණි. සෞදි අරාබිය සහ රුසියාව සිය නිෂ්පාදනය ඉහළ නැංවීමත් සමඟ OPEC+ රටවල සමස්ත තෙල් නිෂ්පාදනය ද ඔක්තෝබර් මාසයේදී දිනකට බැරල් මිලියන 41.23ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව දිනකට බැරල් මිලියන 2.04ක වැඩිවීමකි.
නවතම වාර්තාවට අනුව, මෙම නිෂ්පාදන මට්ටම ඉරාන යුද්ධයට පෙර OPEC+ රටවල් නිෂ්පාදනය කළ තෙල් ප්‍රමාණයෙන් සියයට 97කට ආසන්න අගයකි. මේ අතර, රුසියානු බලශක්ති ක්ෂේත්රයට පනවා තිබූ සම්බාධක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් කිරීම සහ රුසියාව හා යුක්රේනය අතර බලශක්ති සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම ද රුසියානු තෙල් නිෂ්පාදනය ඉහළ යාමට සෘජුවම බලපා ඇති බව වාර්තා වේ.
ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත ප්‍රවාහන කටයුතු දැඩි ලෙස අඩාල වූ අතර, එමඟින් ජාත්‍යන්තර තෙල් මිල සහ ගෝලීය උද්ධමනය ඉහළ ගොස් තිබුණි.
කෙසේ වෙතත්, සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් විකල්ප නළ මාර්ග සහ ප්‍රවාහන ක්‍රම භාවිත කරමින් සිය තෙල් අපනයනය යළි ස්ථාවර කරමින් සිටින බව OPEC වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.