ආරක්ෂාව තර කරයි, රථවාහන සකසයි - ගංගාරාමයේ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයට විශේෂ සැලැස්මක්
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ඉන්දියාවෙන් වැඩමකරවනු ලබන උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම සඳහා පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව නිවේදනය කර තිබෙනවා.
2026 පෙබරවාරි 04 වැනිදා දිවයිනට වැඩමකරන මෙම සර්වඥ ධාතූන් වහන්සේලා, පෙබරවාරි 05 වැනිදා උදෑසන 6:00 සිට පෙබරවාරි 11 වැනිදා පෙරවරු 7:00 දක්වා මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා විවෘතව පවතිනු ඇති බව සඳහන්.
ප්‍රදර්ශන කාලය තුළ ජිනරතන මාවත, හුණුපිටිය වැව පාර හන්දිය, ලේක් ක්‍රසන්ට් හන්දිය සහ පාර්ක් වීදිය ඇතුළු විහාරස්ථානයට ඇතුළු වන ප්‍රධාන මාර්ග කිහිපයක් වසා තැබෙන අතර, උත්තරානන්ද මාවත, නවම් මාවත සහ පීරිස් මාවත වැනි මාර්ගවල බර රථ ගමනාගමනය සීමා කර තිබෙනවා.
බැතිමතුන්ගේ රථවාහන ගාල් කිරීම සඳහා නොමිලේ රථගාල් ස්ථාන ලෙස පෝර්ට් සිටි, ෂැංග්‍රිලා හෝටලය අසල භූමිය, පැරණි MOD භූමිය, ග්‍රීන් පාත් සහ විහාරමහාදේවී උද්‍යානය අසල රථගාල් වෙන් කර තිබෙනවා.
ගාස්තු අයකරන රථගාල් ලෙස ගාමිණී වටරවුම අසල පෞද්ගලික රථගාල්, ලේක්හවුස් ඉදිරිපිට සහ පැරණි මැනිං වෙළඳපොල භූමිය වෙන් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
එසේම බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් පැරණි MOD භූමිය, පෝර්ට් සිටි සහ ෂැංග්‍රිලා හෝටලය අසල රථගාල්වල සිට ගංගාරාම විහාරස්ථානය දක්වා විශේෂ ෂටල් (Shuttle) ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක වන බව දැනුම් දී තිබෙනවා.
ධාතූන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය පහත උපදෙස් ලබා දෙනවා:
- ජංගම දුරකථන, ගමන් මලු, ජැකට් සහ විද්‍යුත් උපකරණ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන කුටිය තුළට රැගෙන යාම තහනම්.
- විශාල පිරිසක් පැමිණෙන බැවින් ගැටකපන්නන් හා සොරුන්ගෙන් ප්‍රවේශම් වන්න.
- තම මුදල් පසුම්බි හා රන් ආභරණ පිළිබඳ විමසිලිමත් වන්න.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය සහ සිතියම් පහතින්,



