කතානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි - හේතුව මෙන්න

Report

දූෂණ චෝදනා සම්බන්ධයෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයට අදාළව කතානායක පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරන් දෙදෙනාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ හෙට (18) සහ අනිද්දා (19) පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඒ.එච්.එම්.ජී. අබේසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර තිබේ.

ඊයේ අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත අද අධිකරණයට - රටම බලන් ඉන්න නියෝගය

ඊයේ අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත අද අධිකරණයට - රටම බලන් ඉන්න නියෝගය

පාර්ලිමේන්තුවේ NC 4923 දරන රථය භාර ගැනීම සහ එම රථය යොදා ගෙන ඇති රාජකාරි සම්බන්ධ සියලු තොරතුරු, 2025 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා වූ ධාවනයන්හි සාරාංශ මෙන්ම, මේ වසරේ ජනවාරි මස 07 වැනිදා එම රථය රිය අනතුරට පත්වීමට අදාළ ලේඛන ද සමඟ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පසුගිය පෙබරවාරි මස 02 වැනිදා කළ පැමිණිල්ලකට අනුව, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කතානායකවරයාට එරෙහිව මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබීය.

කතානායකවරයාට නිල වශයෙන් හිමිවන්නේ වාහන දෙකක් පමණක් වුවද, අනුමැතියකින් තොරව මාධ්‍ය අංශයක් පිහිටුවා එම අංශයට පාර්ලිමේන්තුවේ වාහනයක් නීති විරෝධී ආකාරයට ලබාගෙන තිබූ බව කුලරත්න මහතා කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් විය.

එම වාහනය අනතුරට ලක්ව ඇත්තේ ද කතානායකවරයාගේ කටයුතු සඳහා යොදවා ගෙන තිබියදී බවත්, අනතුරට පත් වාහනය අලුත්වැඩියා කිරීම සඳහා රක්ෂණ මුදලට අමතරව පාර්ලිමේන්තුවේ මුදල් ද වැය කර ඇති බවත් ආරංචි මාර්ග පවසයි.

එක්කෝ ගෑස් නැත්තම් හිස් සිලින්ඩරයට මුදල්.. රතු එළි මැද මුළු රටම බලන් ඉන්න ලාෆ්ස් ගෑස් සමාගමේ මිල තීරණය අද

එක්කෝ ගෑස් නැත්තම් හිස් සිලින්ඩරයට මුදල්.. රතු එළි මැද මුළු රටම බලන් ඉන්න ලාෆ්ස් ගෑස් සමාගමේ මිල තීරණය අද

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පාර්ලිමේන්තු ප්‍රවාහන අංශයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ද පසුගියදා ප්‍රශ්න කර තිබුණි. මේ අතර, අල්ලස්, දූෂණ සහ අක්‍රමිකතා චෝදනා පදනම් කරගෙන කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පසුගියදා විශ්වාසභංග යෝජනාවක් ද ඉදිරිපත් කරනු ලැබීය.

චෝදනා 50ක් ඇතුළත් කර තිබූ එම විශ්වාසභංග යෝජනාවේ, නිල බලයෙන් හිමි වාහන දෙකට අමතරව තවත් වාහනයක් නීති විරෝධීව පාවිච්චියට ගෙන ඇතැයි යන්න එක් ප්‍රධාන චෝදනාවක් ලෙස ඇතුළත්ව තිබුණි.