පොලීසියත් ආණ්ඩුකාරවරුත් අතේ නැටවූ 'ලොක්කන්ගේ ලොක්කා' අවසන් හුස්ම හෙළයි
මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මිගෙල් ඇන්ජල් ෆීලික්ස් ගැලාර්ඩෝ වයස අවුරුදු 80දී මියගොස් තිබෙනවා.
‘ගෝඩ් ෆාදර්’ හෙවත් ‘ලොක්කන්ගේ ලොක්කා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු ඔහු, 1980 දශකයේදී මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙනවා.
ඔහු ග්වාඩලජාරා (Guadalajara) මත්ද්‍රව්‍ය කාටෙල් සංවිධානයේ ප්‍රධානියා වූ අතර කොලොම්බියාවේ අපරාධ කණ්ඩායම් සමඟ සබඳතා ගොඩනඟා ගනිමින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් මෙහෙයවීමට කටයුතු කර තිබුණා.
විශේෂයෙන්ම පැබ්ලෝ එස්කොබාර්ගේ මෙඩලින් කාටෙල් සංවිධානය සමඟ ඇති කරගත් සම්බන්ධතාව හරහා කොලොම්බියාවේ නිෂ්පාදනය කළ කොකේන් මෙක්සිකෝව හරහා එක්සත් ජනපදයට ප්‍රවාහනය කිරීමේ ජාලය ශක්තිමත් කිරීමට ඔහු දායක වී තිබෙනවා.

එක් අවස්ථාවකදී එක්සත් ජනපදයට ඇතුළු වූ කොකේන් ප්‍රමාණයෙන් සියයට 80ක් පමණ මෙඩලින් කාටෙල් සංවිධානයට සම්බන්ධ වූ බවට වාර්තා වන අතර, එම ජාවාරම් ජාලය මෙහෙයවීමේදී ෆීලික්ස් ගැලාර්ඩෝගේ සංවිධානයද ප්‍රධාන භූමිකාවක් ඉටු කර තිබුණා.
ඔහුගේ නායකත්වය යටතේ ග්වාඩලජාරා කාටෙල් සංවිධානය මෙක්සිකෝවේ දේශපාලන හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහිද සැලකිය යුතු බලපෑමක් ඇති කරගෙන තිබූ බව සඳහන්.
මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් ඉතිහාසයේ ප්‍රබලතම චරිතයක් ලෙස සැලකෙන ෆීලික්ස් ගැලාර්ඩෝ 1989 වසරේ සිට රාජ්‍ය අත්අඩංගුවේ පසුවුණා.
ඔහුගේ මරණයත් සමඟ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ඉතිහාසයේ ප්‍රසිද්ධ නමක් හිමි කරගෙන සිටි චරිතයක ජීවිතය අවසන් වී තිබෙනවා.