දරුවෝ හයක් ළමා නිවාසෙන් පැනලා ගිහින් - ආගිය අතක් නැල්ලු

Report

පානදුර, නල්ලූරුව ගාලු පාරේ පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි බාලවයස්කාර පිරිමි ළමුන් හය දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පලා ගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය සඳහන් කරයි. මෙසේ පලා ගොස් ඇත්තේ වයස අවුරුදු 12ක දරුවන් පස්දෙනෙකු සහ 16 හැවිරිදි වියේ පසුවන එක් දරුවෙක් වන අතර ඊයේ (24) වැනිදා පස්වරු 3.50 ත් (25) වැනිදා මධ්‍යම රාත්‍රී 12 ත් අතර කාලය තුළ මොවුන් මෙලෙස පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම ළමා නිවාසයේ පාලිකාව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත. විවිධ අධිකරණ නියෝග මගින් මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද දරුවන් පිරිසක් මෙලෙස පලා ගොස් ඇති බවත්, අද (25) දහවල් වනතුරුත් ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

පලා ගිය දරුවන් කොළඹ 02, පුවක්පිටිය, පොල්ගස්ඕවිට, නුගේගොඩ, කොට්ටාව සහ පානදුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරයි. පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකරගේ උපදෙස් මත පානදුර දකුණ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දරුවන් සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.