"අපිව අත අරින්න එපා, ආදරය දෙන්න" – විපක්ෂ නායකට දුක හිතයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන්ට රාජ්‍ය මැදිහත්වීම හරහා ප්‍රමාණවත් සහන ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවත්, මෙම කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට තිරසර විසඳුම් ලබාදීමට වත්මන් රජය වගකිව යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී “Citizens’ Voice” වැඩසටහන යටතේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදීය.
අප රටේ ආර්ථික වර්ධනයට 50%කට වැඩි දායකත්වයක් ලබාදෙමින්, ලක්ෂ ගණනක ජනතාවට රැකියා අවස්ථා සපයන මෙම ව්‍යවසායකයන් ආර්ථිකයේ කොඳු නාරටිය බව අවධාරණය කළ සජිත් ප්‍රේමදාස මහතා, මැතිවරණ සමයේදී ඔවුන් වෙනුවෙන් පෙන්වූ උනන්දුව සහ ආදරය ක්‍රියාවට නැංවීමට රජය කටයුතු කළ යුතු බව පැවසීය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම ව්‍යවසායකයන්ගේ දායකත්වය ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය බවත්, එසේ නොවුණහොත් 2028දී විදේශ ණය ගෙවීමට අපොහොසත් වීමෙන් රට නැවතත් බංකොලොත්භාවයට පත්විය හැකි බවත්ය. රටේ ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන යාමට මේ වන විටත් අපහසු වී ඇති බවත්, 2028දී ණය ගෙවීමට නොහැකි වුවහොත් රට ආර්ථික අර්බුදයකට මුහුණදීමේ අවදානමක් පවතින බවත් ඔහු අවධාරණය කළේය.
මේ නිසා, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බවත්, තාවකාලික “පැලැස්තර” විසඳුම් වෙනුවට ස්ථාවර හා තිරසර විසඳුම් ලබාදිය යුතු බවත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. එමෙන්ම, මෙම ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ ගැටලු අතහැර නොදමා, ඒවාට ප්‍රායෝගික විසඳුම් මාලාවක් ලබාදෙන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියා.
බැංකු පද්ධතිය තුළද මෙම ව්‍යවසායකයන්ට බරපතල ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, ඉහළ පොලී අනුපාතික සහ ණය බර යනු ඔවුන්ට දැරිය නොහැකි බවත්, බැංකුවල මෙම අසාධාරණ ක්‍රියාවලියට එරෙහිව හඬ නැගීමටත්, ඒ පිළිබඳව ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කරන බවත් පැවසීය.
මෙම සාකච්ඡාවේදී, ව්‍යවසායකයන්ගේ ගැටලුවලට ආසන්නතම විසඳුම් ලබාදීම සඳහා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තම පක්ෂය සූදානම් බවත්, එහෙත් රජය එම වගකීම ඉටු නොකරන්නේ නම්, ඒ වෙනුවෙන් ජනතාව සමඟ එක්ව හඬ නැගීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු
