රටේ ආර්ථිකයෙන් අලුත් ඉඟියක් - වසරේ මුල් මාස 9 තුළ රුපියල් බිලියන 22.3ක අතිරික්තයක්
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාව රුපියල් බිලියන 22.3ක සමස්ත අයවැය අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයට අදාළ මූල්‍ය සමාලෝචන වාර්තාවට අනුව, පසුගිය වසරේ එම කාලසීමාවේදී රුපියල් බිලියන 441.4ක අයවැය හිඟයක් වාර්තා වී තිබුණා.
රජයේ ආදායම සියයට 20කින් සැලකිය යුතු ලෙස ඉහළ යාම සහ රාජ්‍ය වියදම් වර්ධනය පාලනය කිරීම මෙම අයවැය අතිරික්තය වාර්තා වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව එම වාර්තාවේ සඳහන් වනවා.
ඒ අනුව 2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 4,601.6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2025 වසරේ එම කාලසීමාවේදී එම ආදායම පැවතියේ රුපියල් බිලියන 3,834.9ක් ලෙසයි. මෙය වසර සඳහා රජය අපේක්ෂා කළ රුපියල් බිලියන 5,300ක සමස්ත ආදායම් ඉලක්කයෙන් සියයට 86.8ක්.
එමෙන්ම බදු ආදායම ද සියයට 19.3කින් වර්ධනය වී රුපියල් බිලියන 4,252.1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම බදු ආදායමෙන් සියයට 47 බැගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව විසින් උපයා ඇති බව වාර්තාවේ සඳහන්.
වාහන ආනයනයෙන් රජයට වැඩි ආදායමක්
ශ්‍රී ලංකා රේගුව 2026 වසරේ මුල් මාස නවය තුළ රුපියල් බිලියන 1,981ක ආදායමක් උපයා තිබෙනවා.
එය එම වසර සඳහා නියම කර තිබූ වාර්ෂික ආදායම් ඉලක්කයෙන් සියයට 89.8ක්. ආනයනික භාණ්ඩ මත අය කරන එකතු කළ අගය මත බද්ද (VAT) සියයට 14කින් ඉහළ ගොස් රුපියල් බිලියන 690.3ක් වී ඇති අතර, රේගුව මගින් අය කරන සුරාබදු ආදායම සියයට 15කින් වර්ධනය වී රුපියල් බිලියන 636.1ක් වී තිබෙනවා.
එම සුරාබදු ආදායම තුළ වාහන ආශ්රිත සුරාබදු ආදායම සියයට 9.1කින් ඉහළ ගොස් රුපියල් බිලියන 381ක් ලෙස වාර්තා වී තිබෙනවා. එය රේගුවේ සමස්ත සුරාබදු ආදායමෙන් සියයට 60ක්.
මෝටර් රථ ආනයනයෙන් ලැබුණු ආදායම ඉහළ යාම රේගුවේ ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවද මූල්‍ය සමාලෝචන වාර්තාව පෙන්වා දෙනවා.
මේ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අදාළ කාලසීමාව තුළ රුපියල් බිලියන 2,014ක ආදායමක් උපයා ඇති අතර, එය වාර්ෂික ඉලක්කයෙන් සියයට 83.9ක්.
ආදායම් බදු එකතු කිරීම සියයට 20කින් ඉහළ ගොස් රුපියල් බිලියන 996.4ක් වී ඇති අතර, දේශීය එකතු කළ අගය මත බදු ආදායම සියයට 29කින් වර්ධනය වී තිබෙනවා.
රජයේ වියදම් සහ ආර්ථික වර්ධනය
2026 වසරේ මුල් මාස නවය තුළ රජයේ සමස්ත වියදම සියයට 7.1කින් වර්ධනය වී රුපියල් බිලියන 4,579.3ක් ලෙස වාර්තා වී තිබෙනවා.
පුනරාවර්තන වියදම් සියයට 5.6කින් ඉහළ ගොස් රුපියල් බිලියන 4,036.6ක් වී ඇති අතර, එම වියදම්වලින් සියයට 45ක් නියෝජනය කරන පොලී ගෙවීම් සියයට 5කින් අඩු වී තිබෙනවා.
ඒ අනුව 2025 වසරේ මුල් මාස නවය තුළ රුපියල් බිලියන 1,906.6ක් වූ පොලී ගෙවීම් 2026 වසරේ එම කාලසීමාවේදී රුපියල් බිලියන 1,821.6ක් දක්වා පහත වැටී තිබෙනවා.
කෙසේ වෙතත්, ප්‍රාග්ධන වියදම් සහ ශුද්ධ ණය දීම සියයට 19.2කින් ඉහළ ගොස් රුපියල් බිලියන 542.8ක් වී ඇති බවද වාර්තාවේ සඳහන්.
මේ අතර, ප්‍රාථමික අයවැය අතිරික්තය ද 2025 වසරේ එම කාලසීමාවේ පැවති රුපියල් බිලියන 1,465.1 සිට 2026 වසරේදී රුපියල් බිලියන 1,843.9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, 2026 වසරේ දෙවන කාර්තුවේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4.2ක් දක්වා මන්දගාමී වී ඇති බව වාර්තාව පෙන්වා දෙනවා. 2025 වසරේ එම කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය සියයට 5ක් ලෙස වාර්තා වී තිබුණා.