අද දේශපාලනයේ තීරණාත්මක දිනයක් - ශිරන්ති රාජපක්ෂ අද FCIDයට - නාමල් රාජපක්ෂ CIDයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව අද පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.
නමුත් ඇය සිය නීතීඥයෙකු මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණේ එදිනට තමාට පැමිණීමට නොහැකි අතර ඒ සඳහා සති 02ක කාලයක් ලබාදෙන ලෙසයි.
කෙසේවෙතත් ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද දිනයේ යළි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් ඇත.
මින් පෙර ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු දිවයිනේ රැඳී නොසිටීම නිසා ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමට අනුව මෙම දැනුම්දීම සිදුකර තිබෙන බව සදහන් වේ.