ශිරාන් බාසික්ට අධිකරණ නියෝගයක් - වහාම දුරකථන සහ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට නියෝග
මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයේ සාමාජිකයකු යැයි කියන, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරන "ශිරාන් බාසික්" නැමැති සැකකරුගේ දුරකථන දත්ත වාර්තා සහ බැංකු ගිණුම් විස්තර වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (18) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට නියෝග කළේය.
සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය සහ අයථා ලෙස මුදල් ඉපයීම් සිදුකර තිබේද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අදාළ දත්ත වාර්තා කැඳවීමට අවසර දෙන ලෙස පොලීසිය කළ ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව, මෙරට දුරකථන සමාගම් තුනකට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයාට අදාළ වාර්තා නිකුත් කරන ලෙස නියෝග කර තිබේ.
පසුගිය අගෝස්තු 14 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලීසිය මෙහිදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.
මෙහිදී පොලීසිය අමතමින් අදහස් දැක්වූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු රඳවා ප්‍රශ්න කරනු ලබන්නේ නාරාහේන්පිට පොලිස් බලප්‍රදේශයේ බැවින් ඔහු අංක 3 මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.
එමෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ඉදිරිපත් කළ යුතු නිවැරදි අධිකරණය සම්බන්ධයෙන් පොලීසිය මීට වඩා අවධානය යොමුකළ යුතු බව ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.