අවන්හලකින් ගත් කෑම නිසා බිහිසුණු ඛේදවාචකයක්- ආහාර විෂ වී පස් හැවිරිදි සිඟිත්තියක් මියයයි

Report

වරච්චා ප්‍රදේශයේ අවන්හලකින් මිලදී ගත් පනීර් සහ කජු ව්‍යංජන අනුභව කිරීමෙන් පසු ඇති වූ බවට සැක කෙරෙන ආහාර විෂවීමක් හේතුවෙන් පස් හැවිරිදි දැරියක් මියගොස් තිබේ. සිද්ධියෙන් ඇගේ පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු ද දැඩි ලෙස රෝගාතුර වී රෝහල්ගත කර ඇත.

මියගිය දැරිය ආර්යා කල්සාරියා ලෙස හඳුනාගෙන ඇති අතර, ඇය සිය පියා වන අශෝක්, මව ජ්‍යෝත්සානා සහ සහෝදරියන් දෙදෙනා සමඟ අගෝස්තු 15 වැනිදා ෂිතල් අවන්හලෙන් මිලදී ගත් ආහාර පාර්සලයක් නිවසේදී අනුභව කර තිබේ.

පවුලේ සාමාජිකයින් රාත්‍රී 7.30ට පමණ ආහාර පාර්සලය මිලදී ගෙන ඇති අතර, රාත්‍රී 9.15ට පමණ පනීර් සහ කජු ව්‍යංජන දෙකම එකට ආහාරයට ගෙන තිබේ.

අගෝස්තු 16 වැනිදා අලුයම ආර්යා සහ ඇගේ පියා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ වෛද්‍ය බලාර් විසින් පවත්වාගෙන යන ආසන්න සායනයකට රැගෙන ගොස් තිබේ. ඉන් අනතුරුව පවුලේ අනෙක් සාමාජිකයින් තිදෙනා ද උදර වේදනාව සහ අපහසුතා පිළිබඳව පැමිණිලි කර ඇත.

අගෝස්තු 17 වැනිදා උදෑසන වන විට පවුලේ පස්දෙනාටම අධික වමනය සහ දැඩි උදර වේදනාව ඇතුළු බරපතළ රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් වරච්චාහි සද්විචාර් රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රතිකාර ලබමින් සිටියදී ආර්යා මියගොස් ඇති අතර, ඇගේ මවගේ තත්ත්වය ද බරපතළ ලෙස නරක අතට හැරී ඇති බව සඳහන් වේ. ආර්යාගේ මරණයට නිශ්චිත හේතුව සම්බන්ධයෙන් වරච්චා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

සිද්ධියට විෂ ද්‍රව්‍යයක් හේතු වී ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය වාර්තා අපේක්ෂාවෙන් සිටින බව පොලිසිය සඳහන් කරයි.