දෙවන පාසල් වාරය අදින් ඇරඹේ
2026 වර්ෂයට අදාළ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අද (20) සිට ආරම්භ වී ඇත.
ඒ සමඟම, මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ සිව්වන අදියර ද අදින් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 10 වන දින අවසන් වූ අතර, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් 19 දක්වා පාසල්වලට නිවාඩු ලබාදී තිබුණි. අදින් ආරම්භ වූ දෙවන පාසල් වාරය ජූලි 24 වන සිකුරාදා දක්වා පවතිනු ඇත.
මේ අතර, 2026 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම සම්පූර්ණ කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එම ප්‍රදානය යටතේ රෙදි මීටර් මිලියන 11.484ක් ලබාදී ඇති අතර, එය රජයේ හා රජයේ ආධාර ලබන පාසල්වල සිසුන්ට, රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට, සීල මාතාවන්ට සහ ගිහි සිසුන්ට බෙදාහැර ඇත.
සිසුන් 4,418,404 දෙනෙකු සඳහා අවශ්‍ය සියලුම නිල ඇඳුම් රෙදි මේ වන විට සම්පූර්ණයෙන් බෙදාහැර අවසන් කර ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.