හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි සියදිවි නසාගැනීමේ අවදානමක
රැඳවුම් භාරයේ සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි පශ්චාත් කම්පන මානසික ආතතිය (PTSD), චිත්ත ආතතිය සහ විශාද තත්ත්වයෙන් පෙළෙන අතර සියදිවි නසා ගැනීමේ අවදානමක පසුවන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ(03) දැනුම් දුන්නේය.
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කරුණු දක්වමින් නීතිඥවරයා සඳහන් කළේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකළ පරීක්ෂණයකදී මෙම රෝග තත්ත්වයන් තහවුරු කර ඇති බවයි. එමෙන්ම ස්ථාන පහකදී වදහිංසාවට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වන අතර, ඒ හේතුවෙන් දැඩි මානසික පීඩනයකට ඔහු ගොදුරු වී ඇති බව ද ප්‍රකාශ කෙරිණි.
කෙසේ වෙතත්, පැමිණිලිකාර පාර්ශ්වයේ අදහස් විමසීමකින් තොරව නියෝගයක් ලබාදිය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළ අතර, මෙම මෝසම සම්බන්ධයෙන් අද(04) කරුණු දැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කරමින් නඩුව පස්වරු 2.00ට යළි කැඳවීමට නියම කළේය.
මේ අතර, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල නවතම ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එය හුදකලා සිදුවීම් මාලාවක් නොව සැලසුම්ගත හා සම්බන්ධීකරණය කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ ප්‍රගති වාර්තාවට අනුව, මේ දක්වා රැස්කර ඇති සාක්ෂි මත පදනම්ව ප්‍රහාර මාලාව සහ ඒ ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින්ට සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් තිබිය හැකි බවට සාධාරණ සැකයක් පවතින බව අධිකරණයට දැනුම් දී තිබේ.
එමෙන්ම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් ජුනි 17 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
විමර්ශන තවදුරටත් පුළුල් කරමින් පවතින බැවින් සහ සැකකරුවන් රටින් පලා යාමේ අවදානමක් පවතින බවට කරුණු මතුව ඇති හෙයින් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් විමර්ශන ඉදිරියට ගෙන යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.