හිෂාලිනීගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක්

By Sewvandhi Jul 28, 2021 12:47 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් නම්කර තිබෙනවා.

ඊට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෛද්‍ය ජීන් පෙරේරා, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ අයත්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරීම සහ නීතිපතිවරයාගේ නිර්දේශ මතයි අධිකරණය විසින් මෙම නම් කිරීම සිදුකර ඇත්තේ. මෙම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය විසින් ලබන සිකුරාදා (30) දැරියගේ අවසන් කටයුතු සිදු කළ ඩයගම ප්‍රදේශයේ සුසාන භූමියෙන් දේහය ගොඩගැනීමට නියමිතයි.

ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයාගේ අධික්ෂණය යටතේ එම කටයුතු සිදු කරනු ඇති. පොලිසිය සඳහන් කළේ අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයින් රැසක් එම අවස්ථාවට සහභාගී වන බවයි. මෙහිදී දැරිය මියගිය ආකාරය, ඇය දුෂණයකට ලක්වී ඇත් ද ? එසේ නම් එම කාල පරිච්ඡේදය කුමක් ද යන්න මෙන්ම මෙම දැරියට කෘර වදහිංසා හෝ වෙනත් හිංසන සිදුකර ඇත් ද යන්න ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලය විසින් වාර්තා ලබාගැනීමට නියමිතයි.

මේවන විට දැරියගේ සිරුර මිහිදන් කල ඩයගම පොදු සුසාන භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී බාලවයස්කාර දැරියක පිලිස්සී මියයාමේ සිද්ධියට විරෝධය පළකරමින් අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

එමෙන්ම, අද දිනයේත් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන මෙහෙයවන පොලිස් කණ්ඩායම් දෙක හැටන් - ඩයගම ප්‍රදේශයේ සිය විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුතු අදත් සිදුවන බවයි පොලීසිය පවසන්නේ.

කොළඹ පොලිස් මූලස්ථානය මගින් පෙරේදා දිනයේ ඩයගම ප්‍රදේශයට එවූ මෙම විශේෂ පොලිස් කණ්ඩායම් දෙක විමර්ශන ආරම්භ කරනු ලැබුවේ ඊයේ දිනයේදී වන අතර මවගෙන් සහ පියාගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කල හිෂාලිනී ජූඩ් නැමැති බාලවයස්කාර දැරිය පිලිස්සී මියයාම සම්බන්ධයෙන් මේ වන විටත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙක් ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ReeCha