මුහුදු මට්ටම සිඝ්‍රයෙන් ඉහළට. නාසා ආයතනයෙන් විශේෂ අනාවරණයක්. (VIDEO)

NASA
By Wayomi Mar 25, 2023 11:18 AM GMT
Wayomi

Wayomi

Report

මුහුදු මට්ටම ඉහළ යාමේ වේගය වැඩිවෙමින් පවතින බවට නාසා ආයතනයේ නිරික්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

මේ දක්වා සිදුකරන ලද චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණවලට අනුව 2021 සිට 2022 දක්වා සාමාන්‍ය ගෝලීය මුහුදු මට්ටම අඟල් බින්දුවයි දශම 11 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

වසර 30කට පසු සාගර ජල මට්ටම අඟල් තුනයි දශම 6කින් වැඩිවී ඇති බවයි 1993 වසරේ ආරම්භ කළ ඇමරිකාව සහ ප්‍රංශය එක්ව සිදුකළ සාගර නිරීක්ෂණ මෙහෙයුමේදී අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව 1993 දී අඟල් බින්දුවයි දශම බින්දුවයි අටකින් ජල මට්ටම ඉහළ යාමේ වේගය 2022 වසරේදී අඟල් බින්දුවයි දශම එකයි හත දක්වා ඉහළ ගොස් ඇත.

මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, 2050 වසර වනවිට එම වේගය අඟල් බින්දුවයි දශම දෙකයි හය දක්වා ඉහළ යනු ඇති බවටයි.

නමුත් 2022 වසරේදී සාගර ජල මට්ටමේ වැඩිවීම වාර්ෂික අනුපාතයට වඩා අඩුවී ඇති අතර, ඒ, ලානිනා තත්වය හේතුවෙන් බවයි නාසා ආයතනය ප්‍රකාශ කරන්නේ.

එය වසරින් වසර සාගරය වෙනුවට ගොඩබිමට ලැබෙන වර්ෂාපතනය අනුව වෙනස්වන අතර දේශගුණික විපර්යාසවලට අමතරව කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු වායුගෝලයට මුදාහැරීම වැනි අහිතකර මිනිස් ක්‍රියාකාරකම් දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු මට්ටම අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ද එම වාර්තා වල දැක්වෙනවා.

ඊට අමතරව අයිස් තට්ටු සහ ග්ලැසියර දියවීම, සාගරයට වැඩි මිරිදිය ජල ප්‍රමාණයක් එක්වීම, උණුසුම්වීම සාගර ජලය ප්‍රසාරණයද හේතු වෙනවා.

1993 සිට මේ දක්වා ප්‍රංශය, ඇමරිකාව, යුරෝපා රටවල් ඒකාබද්ධව සහ නාසා ආයතනය මගින් සාගර නිරීක්ෂණ හතරක් මේ දක්වා සිදුකර ඇති අතර මෙහි මෑතකාලීන මෙහෙයුම වන ඇමරිකා - යුරෝපා ඒකාබද්ධ නිරීක්ෂණය චන්ද්‍රිකා දෙකකින් සමන්විතයි.

එක් චන්ද්‍රිකාවක් 2020 වසරේදී කක්ෂගත කර ඇති අතර, දෙවැන්න 2025 වසරේදී කක්ෂගත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW