සපුගස්කන්ද කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනේ..සියලු විස්තර මෙන්න (PHOTOS)
සපුගස්කන්ද - මාබිම - තෙල් පිරිපහදු සංකීර්ණය අසල මාර්ගයේ කසළ ගොඩක දමා ගොස් තිබියදී ගමන් බෑගයකින් සිරුර හමුවූ කාන්තා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන තිබෙනවා. විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, මෙම කාන්තාවගේ මරණය ඝාතනයක් බවට සිදු කළ පරීක්ෂණවලින් අනාවරණ වූ බවයි.
ඒ අනුව සැකකරුවන් අද දිනයේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා. විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් යොදා ගනිමින් සිදුකළ මෙම විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් හඳුනා ගැනීමට හැකිවී තිබෙනවා. මේ වනවිට සිදු කල පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ මියගිය කාන්තාව පැළඳ සිටි රුපියල් ලක්ෂ 8 ක පමණ රන් ආභරණද අතුරුදන් වී ඇති බවයි.
මෙම රන් ආභරණ ලබා ගැනීමේ අරමුණින් ඝාතනය සිදු කළා ද යන්න පිළිබඳවයි පොලිස් විමර්ශනවලදී අවධානය යොමුවී ඇත්තේ. මෙම කාන්තාව මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකගේ බවට ඊයේ හඳුනා ගැනුණා. ඒ, ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනා විසින් දේහය රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව මොහොමඩ් ෂාෆි ෆාතිමා මුම්ටාස් නැමැති මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 44 හැවිරිදි දෙදරු මවක් වන මෙම කාන්තාව, පසුගිය 28 වැනිදා පස්වරුවේ සිය නිවසෙන් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සමඟ ත්‍රීරෝද රථයකින් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එය ඇගේ ඥාති පුත්‍රයෙකු විසින් දැක ඇති අතර, තම බිරිඳ නිවසට නොපැමිණීම නිසා පසුගිය 01 වැනි දා බ්ලූමැන්ඩල් පොලිසියට අතුරුදන් වූ කාන්තාවගේ සැමියා විසින් පැමිණිල්ලක්ද සිදුකර තිබුණේ ත්‍රීරෝද රථයෙන් අවසන් වරට ඇය සමඟ ගිය කාන්තාවද පොලිසියට කැඳවාගෙන යමින්.
මියගිය කාන්තාව බ්ලූමැන්ඩල් - ඕර්ස් ලේන් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයෙන් බැස ගිය බව එහිදී ඇය ප්‍රකාශ කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මියගිය කාන්තාව මුදල් පොලියට ලබාදීම සහ මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වන තැනැත්තියක බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



