දෛවයට අභියෝග කිරීමට සමන්මලී කෘතිම පාද දෙකක් ඉල්ලයි - සංවේදි කතාව

Srilankan accsidet samanmali
By Sithumi Mar 01, 2022 12:05 PM GMT
Sithumi

Sithumi

Report

ප්‍රේම සම්බන්ධතාවයකින් මීට වසර කිහිපයකට පෙර විවාහ වූ සම්පත් සහ සමන්මලී ගේ ජීවිත හදිසියේම උඩුයටිකුරු වී ගියේ නිමේෂයකිනි. ඒ රිය අනතුරකට ලක්වී සමන්මලීගේ දෙපා දණහිසට උඩින් අහිමි වී යාමත් සමගය.

එම අවාසනාවන්ත අනතුර සිදුව තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. සිය සැමියා සමග පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා යතුරුපැදියෙන් නාඋල ප්‍රදේශයට ගිය සමන්මලීව මාර්ගයේ එක් පසෙකින් බස්සවා සම්පත් ඉන්ධනහළ වෙත ගොස් තිබුණි. ඒත් සමගම සම්පත් වෙත මාර්ගය හරහා ගමන් කරමින් සිටි සමන්මලී එකවරම ලොරි රථයකට යටවී ඇත. 

 එම අවාසනාවන්ත අනතුරින් සමන්මලීගේ දෙපා අහිවි වී තිබුණේ තනිව කිසිවක් කරකියා ගන්නට නොහැකි වන අයුරිනි. 29 හැවිරිදි සමන්මලී එක්දරු මවකි. "ආච්චි තමයි මාව හදා ගත්තේ. අම්මව දැකලා නෑ. පුංචි කාලයේම දාලා ගිහින්. මහත්තයා තමයි මගේ හැමදේම කරන්නේ. මෙහෙම වෙයි කියලා කවදාවත්ම හිතුවේ නෑ. 

මගේ අඩුපාඩුකම් නිසා මහත්තයා කවදාවත් වෙනස්කමක් කරලා නෑ. ඉස්සර වගේම ආදරෙයි. අපි ආදරය කරලා විවාහ වුණේ. මහත්තයාට බරක් නොවී තනියම වැසිකිළි යන්න පුළුවන් විදිහට වැසිකිළියක් හදාගන්න එක තමයි මට අත්‍යවශ්‍ය. එතකොට එයාට රස්සාවට යන්න පුළුවන්." ඒ, දඹුල්ල වල්ගම්වැව ලෙනදොර යන ලිපිනයේ පදිංචි එච්.එම්. නයෝමි සමන්මලී සේනාරත්න ගේ සංවේදී ඉල්ලීමය. 

 ඇයගේ ආදරණීය සැමියා වන 32 හැවිරිදි එම්.ජී. සම්පත් ජයසිංහ මෙසේ පැවසුවාය. "බිරිඳගේ තත්ත්වය නිසා දැන් මාස 3ක් තිස්සේ මට රැකියාවට යන්න විදිහක් නෑ. මාලයක් තිබ්බා ඒක රුපියල් 60,000කට උකස් තිබ්බා. ඒ සල්ලිවලින් තමයි මේ දවස් ටිකේ ජීවත් වෙන්නේ." "නාවුල ඉන්ධන පිරවුම්හළ ගාවදි අනතුර වුණේ. බිරිඳ අනතුරට ලක්වුණාම මම කෑ ගහගෙන එතනට දිව්වා. මම වඩාගෙන ඉස්පිරිතාලෙට අරගෙන ගියේ." 

"අපි හමුවුණේ රත්තොට ගාමන්ට් යද්දි. මගේ මුල්ම සම්බන්ධය මෙයා තමයි. කවුරු හරි පුළුවන් කෙනෙක් කෘතිම කකුල් දෙකක් අරන් දුන්නොත් ලොකු පිනක්. ඒ නැතත් මම පුළුවන් විදිහට මෙයාව බලාගන්නවා. අපි ගියා කෘතිම කකුල් දෙකක් බලන්න. ලක්ෂ 20ක් කිව්වා. මට ඒක දරාගන්න බෑ." "දැන් ජීවිතයේ ලොකු බලාපොරොත්තු නෑ. පුළුවන් විදිහට ජීවත්වෙනවා." 

දෙමව්පියන්ගේ නිවසේ ජීවත් වන සම්පත්, සමන්මලීවත් පෙර පාසල් වියේ පසුවන සඳහිරු සම්පත් පුංචි පුතුවත් රැකබලා ගනිමින් ඉතා කටුක ජීවිතයක් ගෙවමින් සිටී. ඔවුන්ගේ ජීවිතයට කුමණ අයුරකින් උපකාරයක් කිරීමට හැකි අයෙක් වෙතොත් අංක 223 ඒ, වල්ගම්වැව, ලෙනදොර, දඹුල්ල ලිපිනයෙන් හෝ 077 508 45 45 දුරකථන අංකයෙන් සම්බන්ධ විය හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha